ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දෙසැම්බර් 16, 2025

ශ්‍රී ලංකා ප්‍රංශයේ තානාපති, අතිගරු Rémi Lambert මැතිතුමා, ඊයේ (දෙසැම්බර් 15) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමු විය.

මෙම හමුව අතරතුර, තානාපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී රටේ ප්‍රදේශ කිහිපයකට පසුගිය දිනවල බලපෑ ස්වභාවික ආපදා තත්ත්වය පිළිබඳ සහ දැනට ක්‍රියාත්මක වන ආපදා සහන සේවා සහ ප්‍රතිසංස්කරණ මෙහෙයුම්වලට අදාළ කරුණු සම්බන්ධයෙන් මූලික අවධානය යොමු විය. ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවනු ලබන සම්බන්ධීකරණය වූ ජාතික හදිසි ආපදා ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රංශ තානාපතිවරයා දැනුවත් කළ අතර, ආපදා කළමනාකරණය සහ මානුෂීය සහාය සඳහා සන්නද්ධ හමුදා සහ අනෙකුත් සිවිල් ආයතනවල කාර්යභාරය පිළිබඳව ද ඉස්මතු කර දැක්වූයේය.

හදිසි ආපදා සඳහා පෙර සූදානම, සිදු විය හැකි හානි අවම කර ගැනීම, අවධානම් කළමනාකරණය සහ තාක්‍ෂණික පුහුණුව සම්බන්ධයෙන් ජාතික ධාරිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ වැඩසටහන්, එනම් ජනාවාස සැලසුම් කිරීම, වාරිමාර්ග සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ වැඩසටහන් මෙන්ම මහාමාර්ග හා දුම්රිය මාර්ග ඇතුළු හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. 

මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ප්‍රංශයේ ඇති දැඩි කැපවීම තානාපති Lambert මැතිතුමා විසින් යළිත් තහවුරු කළේය. ආපදාවට ලක් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතුවලට සහාය වීම සඳහා හදිසි සහන කට්ටල 1,000 ක් ලබා දීම ඇතුළුව, ප්‍රංශය දැනටමත් ක්ෂණික මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය. ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුම සහිත ජ්‍යෙෂ්ඨ ප්‍රංශ හමුදා නිලධාරියෙකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත්, භූමියේ අවශ්‍යතා තක්සේරු කිරීමටත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමටත්, එම නිලධාරියා දින කිහිපයක් මෙරට රැඳී සිටිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO), සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන ජාතික ආයතනවල තාක්‍ෂණික සහ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීමට සහාය වීමට ප්‍රංශයේ කැමැත්ත තානාපතිවරයා තවදුරටත් අවධාරණය කළේය.

තවද, දෙපාර්ශ්වයේ නිලධාරීන් මෑත කාලීන ආපදාවෙන්, විශේෂයෙන්ම ගලවා ගැනීමේ මෙහෙයුම් සහ ආයතනික සම්බන්ධීකරණයට අදාළව උගත් පාඩම් ඉදිරි ක්‍රියාවලීන් සඳහා අනුගත කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධාරණය කළහ.

උපායමාර්ගික වශයෙන් සහ මෙහෙයුම් මට්ටමින් ආපදා ප්‍රතිචාර අභියෝග ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කරනු ලැබීය. ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම සඳහා මෙම අංශ ආවරණය වන වැඩමුළු මාලාවක් පැවැත්වීමට ද දෙපාර්ශ්වයේ එකඟත්වය පළ විය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කලාපීය සිවිල් ආරක්‍ෂක උපදේශක ඇතුළුව ප්‍රංශ තානාපති කාර්යාලයේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු මෙම හමුවට සහභාගී වූහ.