ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

දෙසැම්බර් 17, 2025

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (දෙසැ. 16) දින කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගි වුවාය.
 
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස මෙම උත්සවයට සහභාගි වූහ.

ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 19 වන පාඨමාලාව සඳහා දෙස් විදෙස් නිලධාරීන් 149 දෙනෙකු ඇතුලත් වූ අතර, ඊට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 123ක් සහ බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පාකිස්ථානය, සෞදි අරාබිය, රුවන්ඩාව, සහ සැම්බියාව යන විදෙස් රටවල සන්නද්ධ හමුදා නියෝජනය කරමින් නිලධාරීන් 26ක් ද, ඇතුලත් වුහ.

පාඨමාලා කාලසිමාව තුළ විශිෂ්ඨ කුසලතා පෙන්නුම් කළ නිලධාරීන් හට එම විශිෂ්ඨතා වෙනුවෙන් විශේෂ සම්මාන පිරිනැමීම, උත්සවයේ ප්‍රධාන ආරාධිත, ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය විසින් සිදු කරන ලදි.

පාඨමාලාවේ හොඳම පර්යේෂණ පත්‍රිකාව (Commandant’s Research paper) සඳහා පිරිනමනු ලබන රන් පෑන (Golden Pen) සම්මානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් (S) එස් එන් ඩබ්ලිව් ඒ එම් කේ ඩබ්ලිව් බණ්ඩාර විසින් දිනා ගන්නා ලදි. මීට අමතරව, විශිෂ්ඨ දක්ෂතා දැක්වූ අනෙකුත් නිලධාරීන් වෙනුවෙන්ද, ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා අගයමින් ප්‍රධාන අමුත්තා විසින් විශේෂ සම්මාන පිරිනමන ලදි.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් ද ශිෂ්‍ය නිලධාරීන් හට උපාධි පිරිනැමීම සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මිත්‍රශීලී විදේශීය රටවල් නියෝජනය කරමින් එම රටවල තානාපති කාර්යාල වල ආරක්‍ෂක උපදේශකයන් මෙන්ම, උපාධිධාරී නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ද, ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.