ජාතික ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ
විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ
දෙසැම්බර් 17, 2025
ජාතික ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන (R&D) ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (දෙසැම්බර් 16) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
ජාතික ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කරුණු පැහැදිලි කළේය. එමෙන්ම, මෙම නව ප්‍රතිපත්තිය දැනට කෙටුම්පත් කර ඇති ගැසට් නිවේදනයට අදාළ සමස්ථ ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති රාමුව සමඟ සමපාත වන බව සහතික කිරීම සඳහා නැවත සමාලෝචනය කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ජාතික ආරක්‍ෂක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් ඒකාබද්ධ වූත්, ඉදිරිගාමී වූත් උපාය මාර්ගයක ඇති වැදගත්කම ද නියෝජ්‍ය අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය.
ජාතික ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තියක් සැකසීම ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති උපායමාර්ගික අවශ්‍යතාවයකි. රටේ දැනට පවතින ආරක්‍ෂක දක්‍ෂතාවන් සහ හැකියාවන් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. මෑතකාලීන ආපදා තත්ත්වයන්ගෙන් උගත් පාඩම් ඔස්සේ ත්‍රිවිධ හමුදා හැකියාවන් ඵලදායී ලෙස ඒකාබද්ධ කිරීම සහ එම හැකියාවන් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති රාමුවට ඇතුළත් කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්‍ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා, පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සාකච්ඡා පවත්වා සාක්‍ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර, ජාතික ආරක්‍ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද අවධාරණය කළේය.
ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CDRD) ප්‍රධානියා විසින් කෙටුම්පත් කර ඇති ප්‍රතිපත්තිමය අරමුණු පිළිබඳවත්, උපායමාර්ගික මෙහෙයුම් සූදානම සහ නවෝත්පාදනයන් සඳහා ඒවායේ ඇති අදාළත්වය පිළිබඳවත් රැස්ව සිටි පිරිස දැනුවත් කළේය.
සාකච්ඡාව අවසානයේදී, නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් සියලුම ප්‍රතිපත්තිමය අරමුණු සමස්ථ ජාතික ප්‍රතිපත්තිය සමඟ පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ලෙස නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. තවද, ලැබුණු අදහස් සහ යෝජනා ඇතුළත් වන පරිදි, ඉදිරි සමාලෝචන කටයුතු සිදුකරමින් ප්‍රතිපත්ති කෙටුම්පත් සැකසීම සඳහා ඉදිරිපත් කරන ලෙස ඔහු අදාළ පාර්ශ්වකරුවන් වෙත උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, කමිටු සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක් වූහ.