උත්සව සමයේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගාලු මුවදොර “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” ස්ථාපිත කෙරේ

දෙසැම්බර් 20, 2025

පවතින උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා, ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” (Public Assistance Helpdesk) 2025 දෙසැම්බර් 21 ක්‍රියාත්මක කෙරෙනු ඇත. ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය සහය කඩිනමින් ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ඇත.

මෙම මහජන සහාය සේවා මධ්‍යස්ථානය මහජනතාවට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන අතර, හදිසි අවස්ථාවකදී හෝ අනපේක්‍ෂිත සිදුවීමකදී කඩිනම් සහාය ලබාදීමටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමටත් ස්ථාපිත කර ඇත. ගාලු මුවදොර ප්‍රදේශයේ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම, පවතින තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වීම සහ ඕනෑම හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙහි මූලික අරමුණ වේ.

ආරක්‍ෂක සහ සම්බන්ධීකරණ කටයුතුවලට අමතරව, හදිසි වෛද්‍ය අවශ්‍යතා සහ ප්‍රථමාධාර සැපයීම සඳහා ගිලන් රථ සේවාවන් සහ වෛද්‍ය සහාය ද එම පරිශ්‍රයේ සලසා ඇත. මහජනතාවට සහ සංචාරකයින්ට ගාලු මුවදොර පරිශ්‍රය ආරක්‍ෂිතව මෙන්ම, විධිමත් ලෙස භුක්ති විඳීමට ඉඩ සැලසීම සහ ඔවුන්ගේ යහපත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් කැපවී සිටියි.

මහජනතාවගේ පහසුව සඳහා හදිසි සම්බන්ධීකරණ, ගිලන් රථ සේවා සහ පොලිස් සහාය ලබාගැනීමට 071 859 5880 දුරකථන අංකය භාවිතා කළ හැකිය.