අයහපත් කාලගුණයෙන් අභිමංසල-3 මධ්‍යස්ථානයට වූ හානි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

දෙසැම්බර් 20, 2025

පසුගියදා ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පාන්ගොල්ල ‘අභිමංසල-3’ විශේෂිත සුවසෙවන පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සිදුවූ බලපෑම සොයා බැලීම සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය දා (දෙසැම්බර් 14) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී, මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නිරීක්‍ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අයහපත් කාලගුණය හේතුවෙන් නේවාසික රණවිරුවන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී මතුව ඇති බාධාවන් සහ පවතින ගැටලු පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරමින් ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද ‘අභිමංසල’ මධ්‍යස්ථාන, මාතෘභූමිය වෙනුවෙන් සේවය කිරීමේදී ආබාධිත වූ රණවිරුවන් උදෙසා වෛද්‍ය උපදෙස්, භෞතචිකිත්සක ප්‍රතිකාර සහ මානසික සෞඛ්‍ය උපදේශන ඇතුළු ජීවිත කාලය පුරාම අවශ්‍ය වන සත්කාරයන් සපයන සුවිශේෂී මධ්‍යස්ථාන වන අතර, මෙම ස්වභාවික ව්‍යසනය හමුවේ වුවද අපේ රණවිරුවන්ට හිමිවිය යුතු ගෞරවය, රැකවරණය සහ විශේෂිත අවධානය සුරක්‍ෂිත පරිසරයක් තුළ අඛණ්ඩව ලබාදීමට රජය කැපවී සිටින බව මේජර් ජෙනරාල් ජයසේකර මෙහිදී අවධාරණය කළේය.

ගංවතුරෙන් සිදුවූ හානිය පිළිබඳව සවිස්තරාත්මක සමාලෝචනයක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් පිළිසකර කිරීමටත්, සේවා සැපයීමේදී ඇතිවන බාධාවන් මඟහරවා ගැනීමටත් නිලධාරීන්ට සෘජු උපදෙස් ලබා දුන් අතර, රණවිරුවන්ගේ පුනරුත්ථාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි මධ්‍යස්ථානය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් පවතින සහන සේවා සහ ප්‍රතිසාධන කටයුතු පිළිබඳව ද අදාළ වගකිවයුතු නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

රණවිරුවන් වෙනුවෙන් ඉහළම මට්ටමේ සත්කාරයන් පවත්වාගෙන යාමට ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන කැපවීම යළිත් තහවුරු කරමින් මෙම සංචාරය නිමා විය. අනාගතයේදී ඇතිවිය හැකි කාලගුණික බලපෑම්වලට ඔරොත්තු දෙන පරිදි මධ්‍යස්ථානය ශක්තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවට නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී නේවාසික රණවිරුවන්ට සහ කාර්ය මණ්ඩලයට සහතික විය.