ඊජිප්තු තානාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දෙසැම්බර් 24, 2025

ශ්‍රී ලංකාවේ අරාබි ජනරජයේ ඊජිප්තු තානාපති, අතිගරු Adel Ibrahim මැතිතුමා ඊයේ (දෙසැම්බර් 23) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය.

ඉතා සුහදශීලීව හා මිත්‍රශීලීව පැවැති මෙම හමුවේදී දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, එය ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත්භාවය මනාව විදහා දැක්වීය.

ගරු ජනාධිපති තුමන් සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, ඊජිප්තු ජනාධිපති තුමා සහ එරට ජනතාව මෙරට වෙත ලබාදෙන අඛණ්ඩ සහ නොසැලෙන අද්විතීය සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම කෘතඥතාව පිරිනැමීය.

දැවැන්ත අභියෝගයන්ගෙන් පසුව ශ්‍රී ලංකාව මේ වන විට යළි ගොඩනැගීමේ ක්‍රියාවලියට සක්‍රීයව අවතීර්ණ වී ඇති බවත්, සෑම ක්ෂේත්‍රයක්ම යථා තත්ත්වයට පත් කිරීම උදෙසා උපරිමයෙන් කැපවී සිටින බවත්, ඔහු තවදුරටත් අවධාරණය කළේය. මෙහිදී මුහුණ දුන් බරපතල දුෂ්කරතා පිළිබඳව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන්ම ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස සහ සමාජ සේවා යන ප්‍රධාන අංශයන්හි ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

දෙරට අතර ආරක්‍ෂක සහ හමුදාමය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම, විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඉහළ මට්ටමේ නියෝජිත පිරිස්වල නිල සංචාරයන් සහ කෙටි, මධ්‍යම හා දිගුකාලීන පුහුණු අවස්ථා සම්පාදනය කිරීම කෙරෙහි දෙපාර්ශවයේම දැඩි කැමැත්ත මෙහිදී ප්‍රකාශයට පත් විය.

මෑතකාලීන ජාතික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ආදර්ශමත් සහ විධිමත් ක්‍රියාමාර්ග මෙහිදී තානාපතිවරයාගේ ඉහළ ඇගයීමට ලක් වූ අතර, එමගින් රට තුළ ඇති විය හැකිව තිබූ දැවැන්ත ව්‍යාකූලත්වය වළක්වා ගැනීමට හැකි වූ බව ඔහු පැවසීය. මෙම ධනාත්මක ප්‍රවේශය මෙන්ම, ශ්‍රී ලාංකික ජනතාව ප්‍රදර්ශනය කළ ජාතික සමගිය, සහෝදරත්වය සහ ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම ද, ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

දෙරට අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය, අනාගත සබඳතාවල ශක්තිමත් පදනම බව මෙහිදී යළි සිහිපත් කෙරිණි. මෙම නිල හමුව හරහා දෙරට අතර රාජ්‍යය මට්ටමින් පවතින සහයෝගීතාව සහ සුහදශීලී සබඳතා තවදුරටත් තහවුරු කිරීමටත්, එම බැඳීම් වඩාත් ප්‍රබල ලෙස ඉදිරියට ගෙන යාමටත්, ඇති කැපවීම යළිත් වරක් තහවුරු විය.