ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් වන නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ජනවාරී 06, 2026

නීතිවිරෝධී වත්කම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ ආරක්‍ෂක සහ නීතිමය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින්, 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්, අද (ජන. 06) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදි. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම පුහුණු සැසිය ඔස්සේ, තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාපිත බැඳීම් සහ තොරතුරු වසන් කිරීමේ ප්‍රතිවිපාක කෙරෙහි මුලික වශයෙන් අවධානය යොමු කරන ලදි. සංවිධානාත්මක මූල්‍ය අපරාධ මර්දනය කිරීමේ ජාතික ප්‍රයත්නයේ මූලික පදනමක් වශයෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙහි ප්‍රධාන දේශනය, අතිරේක සොලිසිටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නීති) එයාර් කොමඩොර් සුදර්ශන ද සිල්වා (ජනාධිපති නීතිඥ) විසින් පවත්වන ලදි. එයාර් කොමඩොර් ද සිල්වා විසින් වැඩසටහනට සහභාගී වූ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නීති වෘත්තිකයන් සහ ජ්‍යෙෂ්ඨ සිවිල් පරිපාලන නිලධාරීන් අමතමින් 2025 ජුනි 01 වන දින සිට බලාත්මක වූ මෙම නව නීතිමය රාමුව පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කළේය.

එහිදී තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීතිමය අවශ්‍යතා පිළිබඳව ඔහු කරුණු අවධාරණය කළේය. අපරාධයකින් උත්පාදිත දේ යැයි සැක කෙරෙන යම් සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නා ඕනෑම නිලධාරියෙකු හෝ පුද්ගලයෙකු එම තොරතුරු අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම නීත්‍යානුකූලව අනිවාර්ය බව ඔහු පැහැදිලි කළේය. තවද, හිතාමතාම නොසලකා හැරීම (willful blindness) හෝ තොරතුරු හෙළිදරව් කිරීමට (failure to disclose) අපොහොසත් වීම මෙම පනත යටතේ බරපතල වරදක් වන අතර, ඒ සඳහා දැඩි නීතිමය දඬුවම් නියම විය හැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙරට ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය දරණ ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් පරිපාලන ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම නව නීතිමය රාමු පිළිබඳ මනා අවබෝධයකින් පසුවන බව සහතික කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම මෙම වැඩසටහන මඟින් මනාව පිළිඹිබු විය. උසස් නීතිමය සාක්ෂරතාවයක් ඇති කිරීම මඟින් විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමටත්, නීතිවිරෝධී මූල්‍ය ජාලයන් හඳුනාගෙන ඒවා අඩපණ කිරීමටත් ආරක්‍ෂක අමාත්‍යාංශය අපේක්‍ෂා කරයි. රටේ ආරක්‍ෂක යාන්ත්‍රණය තුළ ඉහළම විනයක් සහ අඛණ්ඩතාවක් පවත්වා ගැනීම සඳහා මෙම පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ රැස්ව සිටි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති අන්තර්ක්‍රියාකාරී සැසියකින් පසු මෙම වැඩසටහන අවසන් විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පරිපාලන), ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නීති වෘත්තිකයන් මෙන්ම, සිවිල් සහ නීති සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.