ඉන්දීය යුද හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ජනවාරී 07, 2026

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරල්  Upendra Dwivedi අද (ජන. 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ඇතුළු දුත පිරිස ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට ළඟා වුහ.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිය කාර්යාලයට පැමිණි ජෙනරල්  Dwivedi ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා සහ අන්තර් සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද සහ ඵලදායී සාකච්ඡා පවත්වන ලදී. මෑතකදී මෙරට ඇති වූ ආපදා තත්ත්වයේදී ඉන්දීය සන්නද්ධ හමුදා විසින් ලබා දුන් සහයෝගය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, ආපදා සහන සේවාවන් සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සඳහා ඉන්දියාව විසින් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව ද සඳහන් කළේය. එමෙන්ම ඉන්දීය ආරක්‍ෂක හමුදා විසින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ සාමාජිකයින් හට ලබා දෙන වටිනා පුහුණු අවස්ථාවන් ඉතා උසස් කොට අගය කළ අතර, ඉදිරියේදී එවැනි සම්බන්ධ පුහුණු හා ධාරිතා ඉහල නැංවීමේ වැඩසටහන් සඳහා පවතින අවස්ථා පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති උනන්දුව ද ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ ජෙනරල්  Dwivedi, ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීප සහ කල්පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය ප්‍රමුඛ ආරක්‍ෂක අංශ වල දැඩි කැපවීම පිළිබඳ යළිත් තහවුරු කළේය. තවද, අඛණ්ඩ සම්බන්ධීකරණය, පුළුල් පුහුණු අවස්ථා සහ ශක්තිමත් යුදමය සහයෝගීතාව හරහා ශ්‍රී ලංකා හමුදාවන් සමඟ පවතින ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ එක්ව කටයුතු කිරීමට දෙරටේම ඇති පොදු කැපවීම මෙම හමුවේදී දෙපාර්ශවය විසින් අවධාරණය කෙරිණි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.