ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා
අතර හමුවක් පැවැත්වේ

ජනවාරී 07, 2026

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Upendra Dwivedi, අද (ජනවාරි 07) දින කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමු විය. ඉන්දීය යුද හමුදා ප්‍රධානියා ප්‍රමුඛ දුත පිරිසක් මෙරට නිල සංචාරයක් සඳහා ඊයේ දින ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙහිදී ආරක්‍ෂක නියෝජ‍්‍ය අමාත්‍යවරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි ජෙනරල් Dwivedi ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡා පැවැත්විණි. එහිදී අසල්වැසි රටවල් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික, සංස්කෘතිකමය සහ ශිෂ්ටාචාරමය සබඳතා දෙපාර්ශවය විසින්ම යළිත් තහවුරු කරන ලදි. 

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, මෑතකදී ඇති වූ ' දිට්වා ' සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ස්වාභාවික ආපදා තත්ත්වයේ දී ඉන්දීය රජය විසින් ලබා දුන් සුවිශේෂී සහ බහුවිධ සහයෝගය පිළිබඳව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අවංක කෘතඥතාව පළ කළේය. ආපදා සහන කණ්ඩායම් යෙදවීම සහ මානුෂීය ආධාර සැපයීම ඇතුළුව ඉන්දියාව ලබා දුන් කාලෝචිත සහයෝගය, මෙරට ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කණ්ඩායම් මේ වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ආපදා සහන සැලසීමේ සහ නැවත ගොඩනැගීමේ ප්‍රයත්නයන් සඳහා සහය වෙමින් සිටිති. තවද, අප රටේ සමුද්‍රීය කලාපය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සහ අනෙකුත් අන්තර්ජාතික අපරාධ සාර්ථකව මැඩපැවැත්වීම සඳහා ඉන්දීය ආරක්‍ෂක අංශ සමඟ පවතින මෙහෙයුම් සහයෝගීතාව පිළිබඳව ද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.

එමෙන්ම, නවීන තාක්‍ෂණික ක්‍රමවේද භාවිතය, හමුදාමය ශක්තිමත්භාවය ඉහළ නැංවීම (Capacity-building) සහ දැනුම හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක සහ ඉදිරි සහයෝගීතාවයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
 
එහිදී අදහස් දැක්වූ ජෙනරල් Dwivedi, ශ්‍රී ලංකාව සමඟ යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා අංශයන්හි ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවේ දැඩි කැපවීම යළිත් තහවුරු කළේය. මානුෂීය ආධාර, ආපදා ප්‍රතිචාර දැක්වීම, පුහුණු වැඩසටහන් සහ හමුදාමය ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදීමට ඉන්දියාව සූදානම් බව ඔහු යළිත් ප්‍රකාශ කළ අතර, එමඟින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමත්, කලාපීය ස්ථාවරත්වය, ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීමත් අපේක්ෂා කෙරෙන බව දැක්වූයේය. 

මීට අමතරව, දෙරට අතර කල් පවත්නා විශ්වාසය සහ විනිවිදභාවය ගොඩනැංවීම සඳහා කනිෂ්ඨ, මධ්‍යම සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව මට්ටමින් පුද්ගලාන්තර සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. තවද, හදිසි ආපදා අවස්ථාවන්හිදී පොදු අවබෝධයක් ඇති කර ගැනීම සඳහා, ජාතික මට්ටමේ සිට උපක්‍රමික මට්ටම දක්වා විහිදෙන ආපදා ප්‍රතිචාර යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඒකාබද්ධ පුහුණු සහ හුවමාරු වැඩසටහන්වල ඇති වැදගත්කම ඔහු අවධාරණය කළේය.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යොන්‍ය සහයෝගීතා හවුල්කාරිත්වය යළිත් ප්‍රබල ලෙස තහවුරු කරනු ලැබූ අතර, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව පිළිබඳ දෙරටේ පොදු කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි.

ඉන්දීය යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.