නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung මැතිනිය ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ජනවාරී 08, 2026

ශ්‍රී ලංකාවේ සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය නිමා කර මෙරටින් නික්ම යන අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි, ගරු Julie Chung මැතිනිය අද (ජනවාරි 08) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා සහ අමෙරිකානු තානාපතිනිය දෙරට අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳව සිහිපත් කළ අතර, කලාපීය ආරක්‍ෂාව, ධාරිතා වර්ධනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ. මෑතකදී දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටු තත්ත්වයේදී විපතට පත් ජනතාවට සහන සැලසීමට සහ නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා අමෙරිකානු රජය ලබාදුන් කාලෝචිත සහයෝගය අගය කළ ආරක්‍ෂක ලේකම්වරයා, ඒ පිළිබඳව සිය අවංක කෘතඥතාව ද මෙහිදී පළ කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තානාපතිනිය ලබාදුන් වටිනා දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයා විසින් අගය කරන ලද අතර, ඇයගේ ඉදිරි කටයුතු සඳහා සුභාශිංසන එක් කරන ලදි. තවද, අමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප හා ශක්තිමත් සබඳතාවක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ද ලේකම්වරයා මෙහිදී යළිත් තහවුරු කළේය.

මෙම අවස්ථාවට අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House ද සහභාගී විය.