රණවිරු දරු දැරියන් වෙනුවෙන් ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව පිරිනමයි

ජනවාරී 13, 2026

රණවිරු ප්‍රජාවගේ සුභසාධනය ඉහළ නැංවීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන කැපවීම යළිත් තහවුරු කරමින්, රණවිරු පවුල්වල දරු දැරියන් 25 දෙනෙකු සඳහා සංකේතාත්මකව අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීමේ ‘විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අද (ජනවාරි 13) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී වූ අතර, ගෞරවනීය අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී වුයේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, බ්‍රිගේඩියර් එස්.බී. කොහොන (විශ්‍රාමික) විසින් උත්සවයට සහභාගී වූ ආරාධිත අමුත්තන් පිළිගනු ලැබීය. 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරු දැරියන් 119 දෙනෙකු, මෙම ශිෂ්‍යත්ව ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇත. 2015 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන මගින් මේ දක්වා රණක්‍ෂිතයට පත් වූ මෙන්ම යුධ සමයේදී රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ දරු දැරියන් 1,343 දෙනෙකු වෙත මූල්‍ය හා අධ්‍යාපනික සහයෝගය ලබා දී තිබේ.

මෙහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ශිෂ්‍යත්වලාභී දරු දැරියන්ගේ අධ්‍යාපනික දක්ෂතා අගය කරමින් ඔවුන් වෙත සිය සුභාශිංසන පිරිනැමීය. රට වෙනුවෙන් අභිතව සටන් වැදුණු රණවිරුවන්ගේ ජීවමාන උරුමය මෙම දරුවන් බවත්, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඔවුන් ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයන් පිටුපස එම දරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැපවීම පවතින බවත් ඔහු සඳහන් කළේය. තවද, ඔවුන්ට ලැබෙන අවස්ථා වඩාත් ඵලදායි ලෙස ප්‍රයෝජන ගනිමින් රටට වටිනා සේවයක් සිදු කල හැකි උසස් වෘත්තීය මට්ටම් කරා ළඟාවීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශය රණවිරු පවුල්වල සුභසාධනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බව ද අවධාරණය කළේය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා විසින් රට ජාතිය වෙනුවෙන් කැපවූ රණවිරු පවුල්වල ජිවන තත්ත්වය උසස් කිරීම හා ඔවුන්ගේ සුභසාධනය සඳහා ජාතික ආරක්‍ෂක අරමුදල මඟින් ඉටුකරන සුවිශේෂී මෙහෙවර පිළිබඳව අදහස් දැක්වීය. අධ්‍යාපනය යනු අනාගතය වෙනුවෙන් සිදුකරන වැදගත්ම ආයෝජනයක් බවත්, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන දරුවන් වෙත ලබා දෙන තවත් එක් මූල්‍ය ආධාරයකට සිමා නොවූ අපගේ විරෝධාර රණවිරුවන් සිදුකරනු ලැබූ කැපවීම් වෙනුවෙන් සිදුකරනු ලබන ගෞරවයක් බවත් ඔහු පැවසීය. විනයගරුකව සහ වගකීම් සහගතව තම අධ්‍යාපනික අරමුණු ජය ගන්නා ලෙස ඔහු දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.