13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024/2025 පනාගොඩදී උත්කර්ෂවත් සමාප්ති උළෙලක් සමඟින් නිමාවට පත්වේ

ජනවාරී 13, 2026

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල 2024/2025 ඊයේ (ජනවාරි 12) දින පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවැත්වූ අභිමානවත් සහ වර්ණවත් සමාප්ති උළෙලකින් සාර්ථකව නිමාවට පත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සභාව අමතමින්, මෙරට ස්ථිරසාර සාමය සහ ජාතික සමගිය තහවුරු කිරීම වෙනුවෙන් කැප වූ ශ්‍රේෂ්ඨ රණවිරුවන් සියලු දෙනා වෙත සිය උපහාර පුද කළේය. සන්නද්ධ හමුදාවන්ට ආරක්‍ෂක රාජකාරි වලින් ඔබ්බට විහිදුණු ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ද ඉදිරියට යාමට හා දක්‍ෂතා දැක්වීමට අපගේ අභීත රණවිරුවන් සිදුකල එම කැපකිරීම් තුලින් ඉඩ හසර සැලසී ඇති බව ඔහු පැවසීය. රැස්ව සිටි සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ජයග්‍රහණ ලබාගැනීම සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බවත්, කලාපීය සහ ගෝලීය තරඟාවලියන්හිදී මෙරටට පදක්කම් දිනා දෙන ක්‍රීඩකයන්ගෙන් වැඩි පිරිසක් සන්නද්ධ හමුදාවන් නියෝජනය කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තවද, විධිමත් පුහුණුවක සහ අදාළ පාර්ශ්ව වෙතින් අඛණ්ඩ සහයෝගයක් ලබාදීමේ ඇති වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, 2028 ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් ලබා ගනිමින් රටට කීර්තියක් අත්කර දීම අප සියලු දෙනාගේ සාමූහික ඉලක්කයක් විය යුතු බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුල ක්‍රීඩා කුසලතාවන් දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අවධාරණය කළේය.

මෙවර පැවති 13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වූ අතර, අනුශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද මෙවර ක්‍රීඩා උළෙලෙහි සමාප්ති උත්සවයේ දී, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් විවිධ ක්‍රීඩා ඉසව් 39ක් යටතේ තරඟ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000කට අධික පිරිසක් අතුරින් සුවිශේෂී දක්ෂතා, විනය සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රදර්ශනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි.

මෙම විචිත්‍රවත් සමාප්ති උත්සවයට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

සම්ප්‍රදායානුකූලව, ආරක්‍ෂක සේවා ක්‍රීඩා ධජය යුද හමුදාපතිවරයා විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාර දුන් අතර, අනතුරුව එය නාවික හමුදාපතිවරයා වෙත භාර දෙන ලදී. ඒ අනුව, 2026/2027 ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය නාවික හමුදාව වෙත පැවරිණි. ඉන් අනතුරුව, 13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලෙහි සමාප්තිය නිල වශයෙන් සනිටුහන් කරන ලදී.