Lanka Ride 2026 පාපැදි තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ජනවාරී 20, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි තරඟාවලියක් වන Lanka Ride 2026 තරඟාවලිය 2026 ජනවාරි මස 18 වන දින අවසන් විය.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් දින තුනක් පුරා පැවති මෙම තරඟ ඉසව්ව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ පාපැදිකරුවන් ඔවුන්ගේ දරාගැනීම, වේගය සහ උපායශීලී දක්‍ෂතා මනා ලෙස පෙන්නුම් කරන ලදි.

2026 ජනවාරි මස 16 දින සිට 18 දින දක්වා පවත්වන ලද මෙම තරඟාවලිය මෙරට ප්‍රධාන නගර සහ ඓතිහාසික ප්‍රදේශ සම්බන්ධ කරමින් දුෂ්කර අදියර තුනක් යටතේ කිලෝමීටර 448 ක ආසන්න දුර ප්‍රමාණයක් ආවරණය කළේය.

2026 ජනවාරි 16 වන දින ආරම්භ කරනු ලැබූ පළමු අදියරේදී, ක්‍රීඩකයින් කොළඹ (ලේක්හවුස් අසල) සිට මහනුවර (ගන්නෝරුව) දක්වා කිලෝමීටර් 105 ක දුර ප්‍රමාණයක් විවිධ කඳු පන්තීන් හරහා තරඟ වැදුණු අතර, ජනවාරි මස 17 වන දින පැවැත්වුණු දෙවන අදියරේදී මහනුවර සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 135.5 ක දුරක් තරඟ වැදුණි. ජනවාරි 18 වන දින අවසන් සහ දීර්ඝතම අදියර පැවැත්වුණු අතර, එය අනුරාධපුරයේ සිට පුත්තලම හරහා කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා කිලෝමීටර් 208 ක අභියෝගාත්මක දුරක් ආවරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබල ඒ.ඩී.එස්. පෙරේරා Lanka Ride 2026 තරඟාවලියෙහි කැපී පෙනෙන ක්‍රීඩකයා වෙමින් King of the Mountain සහ සහ වේගවත්ම පාපැදි ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයම දිනාගන්නා ලදි. එමෙන්ම, Lanka Ride 2026 තරඟාවලියෙහි සමස්ත පළමු ස්ථානය ද හිමිකර ගත්තේය.

යුද්ධ හමුදාවේ සාර්ථකත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.ඩබ්ලිව්.එම් සඳරුවන් පින්තු සමස්ත තෙවන ස්ථානය හිමිකර ගත් අතර, කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ආර්.ටී.සී දයානන්දන තෙවන අදියරේදී ජයග්‍රහණය හිමිකර ගත්තේය.

එමෙන්ම, යුද්ධ හමුදා පාපැදි කණ්ඩායම තරඟය පුරා ඔවුන්ගේ ඉහළ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය, අනුකූලතාව සහ උපායශීලී ශක්තිය පිළිබිඹු කරමින් හොඳම කණ්ඩායමට හිමි සම්මානය හිමිකර ගත් අතර, එම කණ්ඩායමට පාපැදිකරුවන් හය දෙනෙකු ඇතුළත් වූහ. සම්මාන පිරිනැමීමේ උත්සව අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු දිනිඳු සමන් හෙන්නායක සහ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.‍පී අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk