‘EX - DOSTI – XVII’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි
ජනවාරී 21, 2026ඉන්දියානු සාගර කාළාපය තුල සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 16 වැනි දින සිට 19 වැනි දින දක්වා මාලදිවයින් මුහුදු තීරයේදී පැවති ‘EX – DOSTI - XVII ’ ත්‍රෛයිපාර්ශ්වික නාවික අභ්‍යසය සාර්ථකව නිමාවට පත්විය.
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ වෙරළාරක්ෂක හා ජාතික ආරක්‍ෂක බලකායන් අතර අන්‍යෝන්‍ය මෙහෙයුම් හැකියාව වැඩිදියුණු කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ‘EX – DOSTI – XVII ’ ත්‍රෛයිපාර්ශ්වීය නාවික අභ්‍යාසය 2026 ජනවාරි මස 16 සිට 19 දක්වා මාලදිවයිනේ මාලේහිදී සහ මාලදිවයින් මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව සහභාගි විය.
එමෙන්ම, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන ‘Varaha ’ හා ‘Atulya’ නෞකා සහ මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය නියෝජනය කරමින් මාලදිවයින් වෙරළාරක්ෂක නෞකා ‘Huravee’ හා ‘Ghazee’ යන නෞකා මෙම අභ්‍යාසයට සහභාගී වු අතර, අභ්‍යාසයේ වරාය අධියර මාලේ වාණිජ වරාය පරිශ්‍රයේදී හා ෆුනාදූ (Funadhoo) දූපත ආශ්‍රිත මුහුදු සහ ගොඩබිම් ප්‍රදේශ තුල පැවැත්විණි. එහිදී, තෙල් විසිරීමක් කළමනාකරණය කරගැනීම, අභ්‍යාසය සඳහා සහභාගිවන නෞකා කාර්යමණ්ඩල නෞකා නිරීක්ෂණ සංචාර සඳහා සහභාගිවීම, මුහුදේ නෞකා වෙත ප්‍රවිෂ්ඨවීම, පරීක්ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද පිලිබඳ න්‍යායික කරුණු සාකච්ඡා කිරීම සහ මුහුදු අධියර සඳහා ආරක්‍ෂිත ක්‍රමවේද හා පණිවුඩ හුවමාරු උපකරණ පරීක්ෂා කිරීම සිදුකෙරිණි.
ඒ අනුව, මෙම ත්‍රෛයිපාර්ශවික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර තුලදී තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ඉවත්කිරීම (Medical Evacuation), යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේද හා මුහුදු මංකොල්ල මැඩපැවැත්වීමේ අභ්‍යාස (Visit Board Search & Seizure & Piracy), සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (Search and Rescue Drill) සහ යුද නෞකා අතර ආචාර සමාචාර කිරීම (Steam Past) ඇතුළු අභ්‍යාස රැසක් සාර්ථකව සිදු කෙරිණි.
මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී විය. එමෙන්ම, අභ්‍යාසයට සමඟාමීව පැවති ද්විපාර්ශ්වික හමුවීම හා සාකච්ඡා සඳහා රියර් අද්මිරාල් රොහාන් ජෝසප් සහ සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් සේනක වාහල සහභාගි විය.
තවද, කලාපීය සමුද්‍රීය පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවැනි අභ්‍යාස සඳහා සහභාගිවීම මඟින් වැඩි දියුණු වන සහයෝගීතාවය සහ හුවමාරු කර ගනු ලබන නව දැනුම හා අත්දැකීම් තුලින්, ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග වෙත ඉදිරියේදී සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට හා ඒ සඳහා විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත හැකියාව ලැබෙනු ඇත.
අනුග්‍රහය - www.navy.lk