එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා යොදවා සිටි 10 වන ගුවන් හමුදා කණ්ඩායම දිවයිනට පැමිණෙද්දී,
11 වන ගුවන් හමුදා කණ්ඩායම මෙහෙයුම් සඳහා පිටත්ව යයි

ජනවාරී 23, 2026

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් (MINUSCA) සඳහා අනුයුක්ත කොට සිටින හෙලිකොප්ටර් යානා ඒකකය යටතේ ක්‍රියාත්මක වන ගුවන් ඒකකයේ රාජකාරි සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 11 වන කණ්ඩායම පසුගියදා (ජන. 21) එරට බලා පිටත්ව ගිය අතර, වසරක සේවා කාලයක් නිම කළ 10 වන කණ්ඩායම නැවත දිවයිනට පැමිණියහ.

ගුවන් හමුදා මාධ්‍ය ඒකකය දක්වා ඇති පරිදි, පසුගියදා (ජන. 21) දිවයිනෙන් පිටත්ව ගිය 11 වන කණ්ඩායමට නිලධාරිනියන් දෙදෙනෙකු ද ඇතුළුව නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව සෙසු නිලයන් 88 දෙනෙකුගෙන් සමන්විත වේ. ගෘප් කැප්ටන් ආසිරි පතිරගේ විසින් අණ දෙනු ලබන මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ වගකීම් යටතේ ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය.

මේ අතර, 2024 වසරේ දෙසැම්බර් 06 වන දින රාජකාරි ආරම්භ කොට වසරක සේවා කාලයක් සාර්ථකව නිම කළ 10 වන ගුවන් හමුදා කණ්ඩායමේ සාමාජිකයන් 94 දෙනෙකු එදින (ජන. 21) අලුයම දිවයිනට ළඟා වූහ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වල නිරත වූ 10 වන ගුවන් හමුදා කණ්ඩායම, ගුවන් පැය 1,500 කට අධික පියාසර කාලයක් වාර්තා කරමින් විවිධ ආකාරයේ සාමසාධක සහ මානුෂීය කටයුතු වලට සහාය වීම සඳහා පුළුල් ගුවන් මෙහෙයුම් රැසක් සිදු කරන ලදි. එක්සත් ජාතීන්ගේ සාමසාධක ඒකක වල රාජකාරි කරන නිලධාරීන් සහ එරට සිවිල් වැසියන් හට අවශ්‍ය සහය දැක්වීම වෙනුවෙන් අභියෝගාත්මක තත්ත්වයන් රැසක් යටතේ රාත්‍රී මෙහෙයුම් හා වෛද්‍ය මුදා ගැනීම් (medical evacuation) මෙහෙයුම් ද, ඇතුළුව විශේෂ මෙහෙයුම් කිහිපයක් ද ඔවුන් විසින් සිදු කරන ලදි.

මෙම හෙලිකොප්ටර් යානා ඒකකය යටතේ ක්‍රියාත්මක වන ගුවන් ඒකකය, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් බලකා අණදෙන නිලධාරියාගේ පැසසුමට ද ලක් වූ අතර, ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන්ගේ දක්‍ෂතා සහ නායකත්වය වෙනුවෙන් ඔවුන්ට විශේෂ ඇගයීම් ද පිරිනැමුණු බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා අනුයුක්ත කොට ඇති ඒකක විසින් සිදු කරනු ලබන ගුවන් මෙහෙයුම් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපූරණයන් හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ද, මෙරටට උපයා දී ඇත.

දිවයිනට පැමිණි නිලධාරීන් ඇතුළු කණ්ඩායම පිළිගැනීමට සහ රාජකාරි සඳහා පිටත්ව යන කණ්ඩායමට සුභ පැතීම සඳහා ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

 

MINUSCA හි ගුවන් ඒකකයේ 11 වන කණ්ඩායම දිවයිනෙන් පිටත්වීම

   
     
   

 

 

MINUSCA හි ගුවන් ඒකකයේ 10 වන කණ්ඩායම දිවයිනට ළඟාවීම