ගම්පහ ප්‍රදේශයේ මහජන දින වැඩසටහන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

ජනවාරී 24, 2026

මහජනතාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය අතර සෘජු සන්නිවේදනය ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මහජන දින වැඩසටහන තුලින්, විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ට, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම, සාමාන්‍ය මහජනතාවට ද තමන් මුහුණ දෙන ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා දී ඇත.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (ජන. 25) දින ගම්පහ ප්‍රදේශයේ පැවැත්වුණු මෙම මහජන දින වැඩසටහනේදී, මූලික වශයෙන් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර, එහිදී විශේෂයෙන්ම නිවාස සම්බන්ධ ගැටළු, විවිධ සුභසාධන ප්‍රතිලාභ ලැබීම් සහ ඊට සම්බන්ධ අනෙකුත් කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මෙදින මහජන දින වැඩසටහනට සහභාගි වූවන් විසින් ඉදිරිපත් කරන ලද සෑම ගැටලුවක්ම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පෞද්ගලිකව පරීක්‍ෂා කර ඒවාට අදාළ විසඳුම් කඩිනමින් ලබා දීම සඳහා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, අපගේ රණවිරුවන් මාතෘභූමිය වෙනුවෙන් ඉටුකළ සේවය ආරක්‍ෂක අමාත්‍යාංශය ඉහළින්ම අගය කරන බවත්, එම රණවිරුවන්ගේ මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය තහවුරු කිරීමට අමාත්‍යාංශය නිරන්තරයෙන් කැපවී සිටින බවත් මෙහිදී අවධාරණය කළේය.

රණවිරුවන් විසින් ඉදිරිපත් කල ගැටළු වලට අමතරව, ප්‍රදේශයේ සාමාන්‍ය මහජනතාව ඉදිරිපත් කළ ඉඩම් ආරවුල් සහ ප්‍රාදේශීය යටිතල පහසුකම් සම්බන්ධ ගැටළු පිළිබඳව ද අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම ගැටළු කඩිනමින් විසඳීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කිරීමට ද පියවර ගනු ලැබූ අතර, මහජනතාවගේ විශ්වාසය තහවුරු කරමින් වඩාත් කාර්යක්‍ෂම සේවාවක් සැපයීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ අරමුණ බව මෙහිදී තවදුරටත් තහවුරු කරනු ලැබීය.