නෙදර්ලන්ත තානාපතිවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර
නිල හමුවක් - ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ
ජනවාරී 27, 2026
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති අතිගරු Wiebe de Boer මැතිතුමා ඊයේ (ජන. 26) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවිය.
මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගත හැකි ප්‍රවේශයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය.
පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයේදී සහ ඉන් අනතුරුව, යුරෝපා සංගමය සමඟ එක්ව නෙදර්ලන්ත රාජධානිය සැපයූ නොසැලෙන සහයෝගය පිළිබඳව, අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියළු ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. තවද, දිවයින පුරා ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කරමින් ඒ ඔස්සේ ජනතාවගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමේ ව්‍යාපෘතිය’ සඳහා නෙදර්ලන්ත රජය විසින් ලබා දෙන අගනා දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් විය.
මෑතකාලීන ස්වභාවික ආපදා තත්ත්වයෙන් පසු, මේ වනවිට ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ධනාත්මක ප්‍රගතිය පිළිබඳ තානාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයන්ට අනුකූලව, විශේෂයෙන්ම ආපදා අවදානම් අවම කිරීම සඳහා නෙදර්ලන්තයේ නුතන තාක්‍ෂණික ක්‍රමවේද සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට නෙදර්ලන්ත රජයේ ඇති කැපවීම පිළිබඳව ද ඔහු මෙහිදී යළිත් තහවුරු කළේය.
සාකච්ඡාව අවසානයේ, දෙරට අතර පවතින සමීප සහ මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට කැප වන බවට දෙපාර්ශ්වයම ප්‍රතිඥා දුන් අතර, ඉදිරියේදී මෙම සහයෝගීතාවය හා හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවට ද සිය විශ්වාසය පළ කළහ.