ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ජනවාරී 29, 2026

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Mathew Duckworth මැතිතුමා අද (ජනවාරි 29) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ සුහද හමුවක නිරත විය.

ඉතා සුහදශීලීව පැවැති මෙම හමුවේදී දෙරටටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම අදහස් හුවමාරු කර ගත්හ.

මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් ආරක්‍ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සහ සමුද්‍රීය ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ දිගුකාලීන මැදිහත්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. පොදු උපායමාර්ගික වැදගත්කමකින් යුත් ක්ෂේත්‍රයන්හිදී ඕස්ට්‍රේලියාව සමඟ පවතින ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ද එතුමා මෙහිදී යළි තහවුරු කළේය.

මෙම සාකච්ඡාව අතරතුර, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ වෙත ඕස්ට්‍රේලියාව ලබා දී ඇති සුවිශේෂී දායකත්වය ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඇගයීමට ලක් කරන ලදි. විශේෂයෙන් 2024 වසර අගභාගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනැමූ Beechcraft King Air 350 සමුද්‍රීය නිරීක්‍ෂණ ගුවන් යානය මගින් මෙරට Maritime Domain Awareness හැකියාවන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එතුමා පෙන්වා දුන්නේය. මීට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ Hydrography සේවාවේ හැකියාවන් වර්ධනය කිරීමට ලබා දුන් සහය මෙන්ම, මීට පෙර ලබා දුන් නෞකා සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙත ලබා දෙන අඛණ්ඩ පුහුණු සහාය පිළිබඳව ද එතුමා ස්තුතිය පුද කළේය. ධාරිතා වර්ධනය, පුහුණු වැඩසටහන්, ප්‍රජා සහභාගීත්වය මෙන්ම තාක්‍ෂණික හා උපකරණ ආධාර මගින් තැනැත්තන් වෙළඳාම සහ අනෙකුත් නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා වූ ඒකාබද්ධ කැපවීම ද දෙපාර්ශ්වය විසින් මෙහිදී සහතික කරන ලදි.

මෙම හමුව මගින් අන්‍යෝන්‍ය විශ්වාසය, පොදු උපායමාර්ගික අවශ්‍යතා සහ කලාපීය ආරක්‍ෂාව හා ස්ථාවරත්වය පිළිබඳ හවුල් කැපවීම මත පදනම් වූ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වර්ධනය වන ආරක්‍ෂක හවුල්කාරිත්වය මනාව පිළිබිඹු විය.