78 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරයි

පෙබරවාරි 04, 2026

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය සැමරීමේ නිල රාජ්‍ය උත්සවය “Rebuilding Sri Lanka” යන තේමාව පෙරදැරි කරගනිමින් අද (පෙබරවාරි 04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, එතුමා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිලවශයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශීය තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

ආරක්‍ෂක අංශ සතු අභිමානය සහ විනයගරුකභාවය විදහා දැක්වෙන අයුරින් ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය යන අංශවල සහභාගිත්වයෙන් පැවති සම්මාන පෙළපාලිය මෙවර සැමරුම් උත්සවයේ කැපී පෙනෙන අංගයක් විය.

අද උදෑසන පැවැත්වුණු මෙම උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කළ ගුවන් සංදර්ශනයක් (Flypast) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වනු ලැබූ උත්තමාචාර වෙඩිමුර මාලාවකින් ද සැමරුම් කටයුතු වඩාත් වර්ණවත් විය.