ඉතාලි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

පෙබරවාරි 05, 2026

නවදිල්ලියේ ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාව සඳහා ද කටයුතු කරනු ලබන ආරක්‍ෂක උපදේශක, කපිතාන් Armando Paolo SIMI (නාවික) අද (පෙබ. 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතාලි ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, ද්විපාර්ශ්වික වැදගත්කමකින් යුත් සහ අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත වූහ.

මෙහිදී දෙරට අතර පවතින දිගුකාලින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව සිහිපත් කෙරුණු අතර දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගතහැකි ප්‍රවේශයන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

මෙම හමුව ඔස්සේ, ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් අන්තර් සබඳතාවය තුලින් කලාපීය ස්ථාවරත්වය සහ සාමය පවත්වාගැනීම සඳහා වන අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීමටත්, ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතාවය ඉහළ නැංවීමටත් දෙරටේ ඇති කැපවීම යළිත් තහවුරු විය.