2027 වසර සඳහා වන නව ව්‍යාපෘති යෝජනා සැකසීම පිළිබඳ සාකච්ඡාවක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

පෙබරවාරි 06, 2026

2027 වර්ෂය සඳහා නව ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (පෙබරවාරි 06) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වුයේය.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානවලට අනුකූලව නව ව්‍යාපෘති යෝජනා සැකසීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධ ක්‍රියා පටිපාටීන් සහ මාර්ගෝපදේශ පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කේ.ටී.අයි. ප්‍රේමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරී මඩුල්ලක් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

මෙහිදී වාර්ෂික අයවැය සකස් කිරීමේ ක්‍රියාවලිය, රාජ්‍ය ආයෝජන වැඩසටහන සම්පාදනය කිරීම, අදාළ කාලරාමු, අයවැය ඇස්තමේන්තු හරහා ප්‍රතිපාදන වෙන් කිරීම සහ ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු ඇතුළු ප්‍රධාන අංශ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින අනුබද්ධ ආයතනවල අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදි‍.