පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ (PDNA) වැඩමුළුවේදී ආපදාවන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් සඳහා වන කැපවීම ආරක්‍ෂක ලේකම්වරයා යළි තහවුරු කරයි

පෙබරවාරි 09, 2026

‍"දිට්වා" සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම් (PDNA) තහවුරු කිරීමේ සහ අවසන් කිරීමේ වැඩමුළුව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ වැඩමුළුවේදී, ශ්‍රී ලංකාව තුළ ආපදාවන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම සඳහා වන කැපවීම ආරක්‍ෂක ලේකම්වරයා යළි තහවුරු කළේය. ඒ අනුව මෙම වැඩමුළුව, ඇගයීම් කටයුතු අවසන් කිරීමට සහ මනාව සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ සියලුම පාර්ශ්වකරුවන් එක්රැස් කරමින් පශ්චාත් ආපදා ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2025 නොවැම්බර් මාසයේ ආරම්භ වූ මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය යටතේ, විශේෂ තාක්‍ෂණික කණ්ඩායම් විසින් ආපදාවෙන් සිදුවූ බලපෑම ගණනය කර ඇති අතර, එහි අවසන් වාර්තාව නිකුත් කිරීමට පෙර එම සොයාගැනීම් තහවුරු කිරීමට මෙම වැඩමුළුව මහඟු පිටුවහලක් විය.

මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ, "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ජීවිත, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන්ට එල්ල වූ දැඩි බලපෑමෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා මෙම ඇගයීම් වාර්තාව තීරණාත්මක පදනමක් සපයන බවයි. රජය විසින් ක්‍රියාත්මක 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බලකායේ මඟපෙන්වීම යටතේ සිදුකරන ලද මෙම විද්‍යාත්මක ඇගයීම හරහා, හුදෙක් සහන සැලසීමේ සිට ජාත්‍යන්තර වශයෙන් "Build Back Better" යන මූලධර්මවලට අනුකූලව ක්‍රමවත් ප්‍රතිසාධන රාමුවක් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම සංකීර්ණ හා කාලානුරූපී කාර්යය සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාත්මක වීම වෙනුවෙන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සිය ප්‍රණාමය පුද කළ ආරක්‍ෂක ලේකම්වරයා, මේ සඳහා තාක්‍ෂණික හා මූල්‍ය දායකත්වය ලබා දුන් ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යන ආයතන වෙත ද සිය ස්තූතිය පුද කළේය. එසේම අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද නිවැරදි දත්ත ලබාදුන් තාක්‍ෂණික කණ්ඩායම් සහ දිස්ත්‍රික් බලධාරීන්ගේ සේවය ද ඔහු මෙහිදී ඇගයීමට ලක් කළේය.

අවසාන වශයෙන්, පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ කැපවීම යළි තහවුරු කළ ලේකම්වරයා, ශක්තිමත් අන්තර් ආයතනික සම්බන්ධීකරණය සහ අඛණ්ඩ හවුල්කාරිත්වය තුළින් "දිට්වා" සුළි කුණාටුවෙන් රටට එල්ල වූ බලපෑම් ජයගෙන වඩාත් සුරක්‍ෂිත සහ ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම්, ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක ඇතුළු නියෝජිතයින් මෙන්ම අමාත්‍යාංශ සහ රජයේ ආයතන ප්‍රධානීන්, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.