ආරක්‍ෂක අමාත්‍යංශයේ කාර්තුමය ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම
ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
පෙබරවාරි 13, 2026
ආරක්‍ෂක අමාත්‍යංශයේ 2025 වසරේ සිව්වන කාර්තුව සඳහා වූ ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහ මුදල් අමාත්‍යංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. හේමන්ත කුමාර මහතාගේ සම-සභාපතීත්වයෙන් අද (පෙබරවාරි 13) දින පැවැත්විණි.
මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව, සියලුම රාජ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්‍ෂණය, ඇගයීම සහ පහසුකම් සැලසීම සඳහා බලය පවරා ඇති ආයතනය වන අතර, නියමිත කාලය තුළ අපේක්‍ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීම සහතික කරනු පිණිස ක්‍රියාත්මක කරන ආයතන වෙත මඟපෙන්වීම ද එමඟින් සිදුකෙරේ.
එම පසුබිම මත පදනම්ව, මෙම සමාලෝචන රැස්වීමේදී ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරුණු අතර, එම ව්‍යාපෘති ජාතික ප්‍රමුඛතා සහ පුළුල් උපායමාර්ගික අරමුණු සමඟ සමපාත වන බව සහතික කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.
මෙම හමුව සඳහා සැලසුම් අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රධාන මුල්‍ය නිලධාරි (ප්‍රසම්පාදන සහ සැලසුම්), අතිරේක ලේකම් (ජනාධිපති ලේකම් කාර්යාල), නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි, ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු සහ ත්‍රිවිධ හමුදා ව්‍යාපෘති භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.
මෙහිදී කාර්යසාධන ඇගයීම, පවතින අභියෝග හඳුනා ගැනීම සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් විධිමත් කිරීම පිළිබඳව සහභාගිවූවන් අතර ඵලදායී සාකච්ඡා පැවැත්විණි.
ආරක්‍ෂක අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අතර පවතින ශක්තිමත් සම්බන්ධීකරණය හරහා, මෙම කාර්තුමය සමාලෝචන ක්‍රියාවලිය මඟින් විනිවිදභාවය, වගවීම සහ ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීම දිරිමත් කෙරේ. එමෙන්ම, තිරසාර සංවර්ධනය සහ ජාතික ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා රජය සතු කැපවීම ද මෙහිදී මැනවින් පිළිබිඹු වේ.