ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලයීය (SLCOMM) සැසිවාරයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා රජයේ ඇති කැපවීම අවධාරණය කරයි

පෙබරවාරි 14, 2026

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලය (SLCOMM), ආරක්‍ෂක වෛද්‍ය රාමුව තුළ ප්‍රධානතම ආයතනයක් ලෙස ඉස්මතු වී තිබේ. අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය, පර්යේෂණ, පුහුණුව සහ ප්‍රතිපත්තිමය දායකත්වය වෙනුවෙන් එම විද්‍යාලය දක්වන නොසැලෙන කැපවීම, ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යමය සූදානම ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇත.

ශ්‍රී ලංකා සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාලයේ (SLCOMM) 9 වන වාර්ෂික විද්‍යාලයීය සැසිවාරය ඊයේ (පෙබරවාරි 13) බත්තරමුල්ල, Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී වූයේය. ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති, විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුමින්ද ආරියරත්න මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මීට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා රජය දරණ පුළුල් උත්සාහයන් මෙන්ම මූලික සූදානමක (Foundational Readiness) ඇති වැදගත්කම අවධාරණය කළේය. සන්නද්ධ සේවා වෛද්‍ය විද්‍යාව යනු සායනික නිපුණතාවය පමණක් නොව විනය, ඔරොත්තු දීමේ හැකියාව, නායකත්වය සහ පීඩනය හමුවේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අවශ්‍ය වන සුවිශේෂී වූත් අභියෝගාත්මක වූත් ක්ෂේත්‍රයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"Back to Basics: Reinforcing Foundational Readiness in Military Medicine" යන තේමාව ඔස්සේ පැවති මෙවර සැසිවාරය පිළිබඳව අදහස් දක්වමින්, ශීඝ්‍ර තාක්‍ෂණික දියුණුව සහ විකාශනය වන ආරක්‍ෂක අභියෝග මධ්‍යයේ වුවද, පෙර සූදානම, සදාචාරාත්මක අඛණ්ඩතාව සහ වෘත්තීය විශිෂ්ටත්වය වැනි මූලික මූලධර්ම ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෞඛ්‍යය යනු මූලික මානව අයිතිවාසිකමක් මෙන්ම "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන ජාතික දැක්මේ කේන්ද්‍රස්ථානය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව ද විස්තර කළේය. පවුල් මත පැටවෙන මූල්‍ය බර අවම කිරීම සඳහා රජයේ ආයෝජන ඉහළ නැංවීම, විනිවිදභාවය තහවුරු කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීම ඇතුළු පද්ධතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට SLCOMM හි සභාපති සහ විධායක කමිටු සාමාජිකයින්, යුද්ධ හමුදා සහ ගුවන් හමුදාපතිවරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.