සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව, දෙරටේ නාවික ධාරිතාවන් ඉහළ නැංවීමේ මුලපිරීම් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

පෙබරවාරි 15, 2026

ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය - 2026 (World Defence Show) සඳහා සහභාගී වීමට සෞදි අරාබියේ නිළ සංචාරයක නිරත වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Fahad Al Ghofaily අතර නිළ හමුවක් පසුගියදා පැවැත්විණි. මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු වූ අතර, මෑතකාලීන ජාතික ආපදාවන්හිදී සෞදි අරාබිය ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

මෙහිදී වෘත්තීයමය වශයෙන් දෙරට අතර හමුදාමය හුවමාරු වැඩසටහන් සිදුකිරීමේ වැදගත්කම අවධාරණය කළ දෙපාර්ශවයම, ද්වීපාර්ශ්වික ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික සාකච්ඡා සහ ආරක්‍ෂක වැඩසටහන් සඳහා සහභාගී වෙමින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කරනු ලැබීය. මෙම වැඩ පිළිවෙළ හරහා දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර මෙහෙයුම් සම්බන්ධයෙන් වන දැනුම සහ ප්‍රායෝගික අත්දැකීම් හුවමාරු කර ගැනීමට අපේක්‍ෂා කෙරේ.

සෞදි අරාබි රාජ්‍යයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා පුළුල් කිරීම මෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිරීක්‍ෂණ හැකියාවන් සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාගැනීම කෙරෙහි ද, මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.

නීති විරෝධී සමුද්‍රීය කටයුතු මර්දනය කිරීම සහ නැගී එන ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම මෙම ධාරිතා වර්ධන මුලපිරීම්වල මූලික අරමුණ වේ.

සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ආරක්‍ෂක සබඳතා සහ ආයතනික සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට දෙපාර්ශවයම සිය කැපවීම යළිත් තහවුරු කරමින් මෙම හමුව ඉතා සාර්ථක ලෙස නිමාවට පත් විය.