ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය ගුවන් ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි

පෙබරවාරි 15, 2026

ගුවන් ආරක්‍ෂක ක්‍රියාවලිය සහ හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ සෞදි අරාබි රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් පසුගියදා විශේෂ හමුවක් පැවැත්වූහ.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සෞදි අරාබි ගුවන් ආරක්‍ෂක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරල් Mazyad bin Sulaiman Al-Amro, අතර පසුගිය සතියේ මෙම හමුව පැවැත්වුණි. නියෝජ්‍ය අමාත්‍යවරයා 'ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනයට (WDS) 2026' සහභාගී වීම සඳහා එරට සිදුකළ නිල සංචාරයට සමගාමීව රියාද් නුවර ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම ඉහළ පෙළේ සාකච්ඡාව සිදු කරනු ලැබීය.  

මෙහිදී, 'දිත්වා' සුළි කුණාටුවෙන් දිවයිනට බලපෑම් ඇති වූ අවස්ථාවේදී සෞදි අරාබිය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය, දෙරට අතර පවතින නොසැලෙන මිතුදමට ප්‍රබල සාක්‍ෂියක් බව පවසමින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස සෞදි අරාබි රජය ප්‍රමුඛ ජනතාව වෙත සිය ස්තූතිය පළ කළහ.

ද්වීපාර්ශ්වික ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාකච්ඡා සහ ආරක්‍ෂක සංවාද සිදු කිරීම හරහා දෙරටේ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු අතර විය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ගුවන් ආරක්‍ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ සාමාජිකයින් හට සෞදි අරාබිය තුළ විශේෂිත පුහුණු අවස්ථාවන් ලබාදීමට කටයුතු කරන ලෙස ද, ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහිදී ඉල්ලීමක් සිදු කරනු ලැබීය.

ගුවන් ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, වෘත්තීයමය වශයෙන් දෙරට අතර හමුදාමය සබඳතා තවදුරටත් පුළුල් කිරීමටත්, දෙපාර්ශවයම සිය කැපවීම යළි තහවුරු කරමින් මෙම හමුව සාර්ථකව නිමා විය.