පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ආරක්‍ෂක ලේකම්වරයා
අතර හමුවක්

පෙබරවාරි 17, 2026

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Mohsin Naqvi මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතර නිල හමුවක් ඊයේ (පෙබරවාරි 16) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

එහිදී, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පන්දුවාර 20 (T-20) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් හා ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව උදෙසා ක්‍රියාත්මක කර ඇති පූර්ණ ආරක්‍ෂක වැඩපිළිවෙළ සහ මනා සංවිධානාත්මකභාවය පිළිබඳ Mohsin Naqvi මහතා සිය ප්‍රශංසාව පළ කළේය. තවද, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙත ශ්‍රී ලංකාව දක්වන උණුසුම් ආගන්තුක සත්කාරය පිළිබඳව ද ඒ මහතා රජය ප්‍රමුඛ ශ්‍රී ලාංකික ජනතාවට සිය කෘතඥතාව පළ කර සිටියේය.

මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙත සිය ප්‍රසාදය පළ කළ අතර, මෙවැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි මගින් ජාතීන් අතර මිත්‍රත්වය, අන්‍යොන්‍ය ගෞරවය සහ සුහදත්වය තවදුරටත් වර්ධනය වන බව අවධාරණය කළේය.