ආරක්‍ෂක අමාත්‍යාංශ මහජන දිනයේදී රණවිරු සුබසාධනය උදෙසා වන කැපවීම යළිත් තහවුරු කරයි
පෙබරවාරි 18, 2026ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (පෙබරවාරි 18) දින පැවති මහජන දින වැඩසටහනේදී, රණවිරුවන් වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නොසැලෙන කැපවීම යළිත් තහවුරු කරනු ලැබීය. ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම මහජන දින වැඩසටහන පැවැත්විණි.
විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ට මෙන්ම, සිය ජිවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ඔවුන් මුහුණ දෙන ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා සාධනීය විසඳුම් ලබා ගැනීමටත් මෙම වැඩසටහන මගින් අවස්ථාව සලසා දෙනු ලබයි. එහිදී, ආරක්‍ෂක ලේකම් තුයියකොන්තා මහජන දින වැඩසටහනට සහභාගිවූවන් සමඟ පෞද්ගලිකවම සම්බන්ධ වෙමින් සුහදශීලීව අදහස් හුවමාරු කරගත් අතර, එම ගැටළුවල ස්වභාවය හඳුනාගනිමින් ප්‍රමුඛත්වය ලබාදිය යුතු පරිපාලනමය ගැටළු කඩිනමින් විසඳීම සඳහාත්, දිවිපිදු හා විශ්‍රාමික රණවිරු පවුල්වල සාමාජිකයන් සඳහා වන සුබසාධන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන ලෙසත්, රණවිරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් අදාළ නිලධාරීන් වෙත සෘජුවම උපදෙස් ලබා දුන්නේය.
අප රටේ ස්වෛරීභාවය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ රණවිරුවන් හට නිසි ගෞරවය ලබාදීම හුදෙක් පරිපාලනමය වගකීමක් පමණක් නොව එය සදාචාරාත්මක යුතුකමක් බව ද, ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
සෘජු, විනිවිදභාවයකින් යුත් සහ අර්ථවත් ක්‍රියාමාර්ග හරහා රණවිරු ප්‍රජාවගේ සේවය සහ කැපවීම ඇගයීමට ලක් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය ගෙන යන අඛණ්ඩ මෙහෙයුමේ ශක්තිමත් පියවරක් ලෙස මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.