ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා රුසියානු Defender of the Fatherland’s Day සැමරුම් උත්සවයට එක්වෙයි

පෙබරවාරි 20, 2026

කොළඹ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද Defender of the Fatherland’s Day සැමරුම් උත්සවය ඊයේ (පෙබරවාරි 19) දින කොළඹ සිනමන් ලයිෆ්, සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි වු අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම උත්සවයට සහභාගී විය.

රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි සේවය කළ දේශප්‍රේමී රණවිරුවන්ගේ නිර්භීතභාවය සහ කැපවීම ඇගයීම සඳහා පවත්වනු ලබන "Fatherland's Defender Day" සැමරුම් උත්සවය එරට ඉතා අභිමානවත් අයුරින් සමරනු ලබයි. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කොළඹ පැවැත්වූ උත්සවයේදී, ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා දෙරට අතර පවතින ශක්තිමත් සුහද සම්බන්ධතාවය සහ සහයෝගීතාවය පිළිබඳව අවධාරණය කළේය.

එහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන හා තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින සබඳතාවන් අවධාරණය කළ අතර, 1957 වර්ෂයේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දින පටන් මේ දක්වාම ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ශක්තිමත් වී ඇති බව සඳහන් කළේය.

වෙළඳ, ආර්ථික, සංචාරක, විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳ ද්වීපාර්ශ්වික කොමිසම හරහා ක්‍රියාත්මක වන රුසියාවේ අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය. තවද, වෙළඳ හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාරික මණ්ඩල අතර පවතින ක්‍රියාකාරී දායකත්වය මෙන්ම, දෙරටේ ජනතාව අතර සුහද සබඳතා ශක්තිමත් කරන සංස්කෘතික හුවමාරු වැඩසටහන් පිළිබඳව ද ඔහු කරුණු පැහැදිලි කළේය.

දිවයිනට බලපෑ 'දිත්වා' ස්වාභාවික ව්‍යසන අවස්ථාවේදී රුසියානු ජනතාව ශ්‍රී ලංකාවට ලබා දුන් මානුෂීය ආධාර සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

අනාගත අපේක්‍ෂාවන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, රුසියාව සතු තාක්‍ෂණික හා බලශක්ති ප්‍රවීණතාවය සහ භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ සතු සැපයුම් දාම හැකියාවන් හා සමුද්‍රීය යටිතල පහසුකම් එක් කිරීම ඔස්සේ ක්‍ෂේත්‍ර බොහොමයක් දියුණුව සඳහා විශාල විභවයක් පවතින බවයි.

මෙම අවස්ථාවට රුසියානු තානාපති කාර්යාලයේ ගුවන් සහ නාවික සම්බන්ධතා නිලධාරී කර්නල් Sergei Beliankin සහ රටවල් බොහොමයක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ගුවන් හමුදාපති, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.