සෞදි අරාබියේ රාජ්‍ය දිනය සැමරීමේ උත්සවයට
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙයි
පෙබරවාරි 21, 2026
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලය විසින් වසර 298ක (1727 සිට) අභිමානවත් ඉතිහාසය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් ඊයේ (පෙබරවාරි 20) කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය. ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් තහවුරු කරමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මෙහි ගෞරවනීය අමුත්තෙකු ලෙස සහභාගී විය.
සෞදි අරාබි තානාපති අතිගරු Khalid bin Hamoud Al-Qahtani මහතා විසින් පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. සිය පිළිගැනීමේ දේශනයේදී තානාපතිවරයා දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාව අගය කළ අතර, ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බව අවධාරණය කළේය. රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව සමඟ පවතින බැඳීම ශක්තිමත් කිරීමට සෞදි අරාබිය කැපවී සිටින බව ඔහු යළිත් තහවුරු කළේය.
සභාව ඇමතූ වෛද්‍ය නලින් ජයතිස්ස මහතා, 1974 වසරේ සිට සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර පවතින 51 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සිහිපත් කළේය. පසුගිය දශක පහක කාලය තුළ වෙළෙඳ, රැකියා සහ සංස්කෘතික හුවමාරුව තුළින් දෙරට අතර ශක්තිමත් පදනමක් ගොඩනැගී ඇති බව ඔහු සඳහන් කළේය. අනාගත පරපුර වෙනුවෙන් දෙරටටම වාසිදායක වන අයුරින් මෙම සබඳතා පවත්වාගෙන යාමේ සහ වර්ධනය කරගැනීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම උත්සවය සඳහා තානාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.