ආරක්‍ෂක ලේකම්වරයා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ
නිරීක්‍ෂණ චාරිකාවක

පෙබරවාරි 23, 2026

මාලඹේ පිහිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහලේ කළමණාකාරීත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරීමට මෑතකදී ගනු ලැබූ කැබිනට් තීරණයෙන් අනතුරුව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (පෙබරවාරි 23) දින එම රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුර, රෝහලේ වර්තමාන තත්ත්වය, දිගුකාලීන දැක්ම සහ වෛද්‍ය පහසුකම් හා සේවා වැඩිදියුණු කිරීමේ ප්‍රධාන අරමුණු පිළිබඳව අවධානය යොමු කරමින් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි. ඒ අනුව 2026 පෙබරවාරි 09 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණයට අනුව, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කළමණාකාරීත්වය ගුවන් හමුදා අධීක්‍ෂණය යටතට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර විසින් රෝහලේ වත්මන් ක්‍රියාකාරකම්, මෙහෙයුම් ධාරිතාව සහ නැගී එන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වන ව්‍යාපෘති සැලසුම් පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය. තවද, රෝහල් පරිශ්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය, මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපෘතිය නිශ්චිත කාලසිමාවන්ට අනුකුලව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා වන අන්තර් ආයතනික සම්බන්ධීකරණය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල අති නවීන පහසුකම් සහිත වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයක වැදගත්කම අවධාරණය කළේය. මෙවැනි උසස් ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය පහසුකම් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ශක්තිමත් වනු ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විවිධ අමාත්‍යාංශ නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.