ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රණවිරුවන්ගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා විශේෂ රැස්වීමක් පැවැත්වීම

පෙබරවාරි 24, 2026

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් හඳුනාගෙන ඇති, රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ දෙන ඉඩම් සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සහ ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා වූ විශේෂ හමුවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 24) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

රටදැය වෙනුවෙන් තම ජිවිත පවා පරිත්‍යාග කරමින් විශිෂ්ඨ සේවාවක් සිදුකල විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ එම සේවය අගයමින් රජය ප්‍රමුඛ ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කොටස් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගොඩවත්ත සහ පැලැඳගොඩ, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යටදොළවත්ත සහ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මදුරුකැටියවත්ත යන ප්‍රදේශවල ඉඩම් ලබාදීම සිදුකෙරුණු අතර, එම ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව මෙහිදී මුලික වශයෙන් අවධානය යොමු විය. 

විශේෂයෙන්ම නීත්‍යානුකූලව රණවිරුවන් වෙත ලබා දී තිබෙන ඉඩම් සම්බන්ධයෙන් අයිතිය තහවුරු කර ගැනීම සඳහා වන හිමිකම් ඔප්පු සම්බන්ධ ගැටළු, වෙනත් පාර්ශවයන් විසින් සිදුකරන අනවසර වගා කටයුතු හා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටීම ආදී ගැටළු පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, අප රටේ ස්වෛරීභාවය හා ස්ථිර සාමය ඇතිකිරීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා සේවය කළ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට රජයේ මැදිහත්වීමෙන් ලබා දී තිබෙන ඉඩම් සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ අංශ වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආරක්‍ෂක සේවා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ කලාප අධ්‍යක්‍ෂකවරුන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සේවා හා පුනරුත්ථාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.