පෞද්ගලික ආරක්‍ෂක සේවා නියාමනය කිරීමේ
නව නීති රෙගුලාසි හදුන්වා දීම

පෙබරවාරි 26, 2026

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම හා සෘජු අධීක්‍ෂණය යටතේ ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූලව පෞද්ගලික ආරක්‍ෂක සේවාවන්හි වෘත්තීයභාවය, සේවා ගුණාත්මකභාවය සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් එම ක්ෂේත්‍රය නියාමනය කරන නීති පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම නව වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික ආරක්‍ෂක ආයතන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක ක්‍රියා පටිපාටිය වඩාත් විධිමත් කෙරෙන අතර, ඒ යටතේ ලබාදෙන සේවාවන් වඩා නිරවද්‍ය ලෙස වර්ගීකරණය කිරීම සහ අධීක්‍ෂණය පුළුල් කිරීම මගින් ආරක්‍ෂක සේවාවන්හි වගකීම් සහගතභාවය තහවුරු කිරීමට පියවර ගැනේ. එම ක්ෂේත්‍රයේ සමස්ත ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා පිළිගත් පුහුණු වැඩසටහන්, නිපුණතා තක්සේරුකරණ ක්‍රියාවලි සහ වෘත්තීයමය න්‍යාය ධර්ම පද්ධතියක් හඳුන්වා දීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇත.

1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්‍ෂක නියෝජිතායතන නියාමනය කිරීමේ පනත යටතේ දැනට ක්‍රියාත්මක වන මෙම ක්‍ෂේත්‍රය සඳහා මෙතෙක් පැවති පොදු ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනුවට, ඉදිරියේදී එම ආරක්‍ෂක සේවා ආයතන සපයන සේවාවන්හි ස්වභාවය අනුව වර්ගීකරණය කිරීමට නියමිතය. මෙම පෞද්ගලික අංශයේ ආරක්‍ෂක නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරිමය අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂිත පුහුණුවක් ලබාදෙන අතර, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු අංශ සමඟ සම්බන්ධීකරණය වෙමින් ජාතික මට්ටමේ (NVQ) වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට ද අවස්ථාව සැලසේ. මීට අමතරව, පොදු නීති රෙගුලාසි, ආචාර ධර්ම සහ නිපුණතා තක්සේරුකරණ ක්‍රමවේද හරහා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කරන අතර, එම ආයතන වලට අදාලව සේවක වැටුප් ගෙවීම්, පඩිපාලක සභා ආඥාපනත සහ 2025 අංක II දරන සේවකයින්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනතට අනුකූලව සිදුකිරීම සහතික කෙරේ.

දැනට ලියාපදිංචි පෞද්ගලික ආරක්‍ෂක සේවා ආයතන 1,050ක් යටතේ ආසන්න වශයෙන් 150,000ක පමණ සේවක පිරිසක් සේවයේ නියුතු වේ. ගරු ජනාධිපතිතුමා, ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරේ. මෙම නව පියවර තුළින් පෞද්ගලික ආරක්‍ෂක සේවා ආයතන වල මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම, ගුණාත්මක සේවාවක් තහවුරු කිරීම සහ දෙස් විදෙස් රැකියා අවස්ථා පුළුල් කිරීම ඔස්සේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම ක්ෂේත්‍රය පෙළගැස්වීම අපේක්‍ෂා කෙරේ.