ජාතික ආපදා ප්‍රතිචාර රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ
සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී
පෙබරවාරි 27, 2026
දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් තත්ත්වයෙන් පසු සිදු කෙරුණු පසු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම සිවිල් වැසියන් සමඟ ආරක්‍ෂක අංශ ඒකාබද්ධ වෙමින් විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබීය. එම සහන සේවා මෙහෙයුම් ඔස්සේ ආපදාවට ලක්වූ ජනතාවට සිදු වූ බලපෑම් අවම කරගැනීමට හැකි වුවද, ජාතික ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තුළ, තීරණාත්මක මෙහෙයුම්, ව්‍යුහාත්මක ක්‍රියාවලිය සහ ආයතනික වශයෙන් පවතින අඩුපාඩු රැසක් අනාවරණය විය.
ඒ අනුව, එවැනි ආපදා අවස්ථාවකදී ආයතනික වශයෙන් අනුගමනය කළයුතු අත්‍යවශ්‍ය ක්‍රියාවලිය හඳුනා ගැනීමත්, ආපදා කළමනාකරණ පද්ධතිය තුළ පවතින දුර්වලතා විශ්ලේෂණය කිරීමත්, හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයේ ප්‍රායෝගික වශයෙන් ප්‍රගතියක් ඇති කිරීමත් අරමුණු කරගනිමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී අද (පෙබරවාරි 27) දින පුළුල් සමාලෝචන රැස්වීමක් පවත්වන ලදි.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් හා විෂයානුබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා ද සහභාගී වූහ. මෑතකාලීන සහන සේවා මෙහෙයුම්වල කාර්යක්‍ෂමතාව විමර්ශනය කිරීම සහ කාලගුණික විපර්යාස හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ජාතික ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් වූ ගුණාත්මක තාක්‍ෂණික යෝජනා සහ ක්‍රියාකාරී දායකත්වය වෙනුවෙන් ඊට සහභාගි වූ සියලුම පාර්ශවකරුවන්ට සිය කෘතඥතාව පළ කළේය. ත්‍රිවිධ හමුදාවේ මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලෙහිම සාමූහික කැපවීම ජාතික ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා සාකච්ඡාවට සහභාගී වූවන් විසින් මතු කරන ලද ප්‍රායෝගික හා උපායමාර්ගික යෝජනා ඉදිරි මෙහෙයුම් විධිමත් කිරීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කැපවී සිටින බවට සහතික කළේය.
ශ්‍රී ලංකා යුධ සහ නාවික හමුදාධිපති වරුන්, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙහිදී සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කරන ලදි.
සුළි කුණාටු තත්ත්වය හා ඉන් අනතුරුව පැවති ආපදා කළමනාකරණ කාලසීමාව තුළ මුහුණ දුන් මෙහෙයුම් අභියෝග සහ පද්ධතිමය දුර්වලතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම සන්නිවේදන ගැටළු, අන්තර් ආයතනික සම්බන්ධීකරණ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු මෙන්ම, විශේෂිත මුදාගැනීමේ උපකරණ සහ නියමුවන් රහිත ගුවන් යානා භාවිතයේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී කරුණු අවධාරණය කරනු ලැබීය.
මෙම සාකච්ඡාවේ තවත් වැදගත් අංගයක් ලෙස ආපදා කළමනාකරණ මෙහෙයුම් වල යෙදෙන පාර්ශ්වකරුවන් අතර පවතින සන්නිවේදන ගැටළු විශ්ලේෂණය කිරීම සහ ඊට අදාළ තාක්‍ෂණික ගැටළු හේතුවෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සිදුවන බාධා හඳුනා ගැනීම සිදු කෙරිණ.
ඊට විසඳුම් ලෙස, ආරක්‍ෂක අංශ සහ සිවිල් ආයතන අතර පවතින පරතරය අවම කිරීම සඳහා නවීන තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා විසින් උපායමාර්ගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කළෝය. අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ වුවද විධාන සහ පාලන යාන්ත්‍රණය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වඩාත් ඔරොත්තු දෙන ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය විය.
විශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ සිට ප්‍රාදේශීය මට්ටමේ ප්‍රතිචාර දක්වන්නන් දක්වා බාධාවකින් තොරව විහිදෙන විධාන හා ප්‍රතිචාර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදි.
මෙම උපාය මාර්ගික ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස, තත්කාලීන තොරතුරු ලබාගැනීම (Situational Awareness) සඳහා 'සිවිල් ආයතන හා සන්නද්ධ සේවා අතර සම්බන්ධීකරණ රාමුවක්' සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන 'ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්' ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. ඒ අනුව අන්තර් ආයතනික සහයෝගීතාවය විධිමත් කිරීම සහ පැහැදිලි සම්මත මෙහෙයුම් පටිපාටි හරහා මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා නිල ප්‍රකාශකයෙකු පත් කිරීම මගින් රජය සහ ජනතාව අතර සන්නිවේදනය වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වා ගැනීමට ද අපේක්‍ෂා කෙරේ.
සාකච්ඡාවේ දෙවන අදියරේදී මෙම ආපදා තත්ත්වයේදී උගත් පාඩම් ප්‍රායෝගික වශයෙන් වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු විය. ආයතනික වශයෙන් මෙන්ම සිවිල් ආයතන හා ආරක්‍ෂක අංශ අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීම, ප්‍රජා දායකත්වය ශක්තිමත් කිරීම සහ මහජන දැනුවත් කිරීම විධිමත් කිරීම පිළිබඳව එහිදී පාර්ශවකරුවන් අදහස් දැක්වූහ. තවද, ප්‍රධාන ප්‍රවාහන මාර්ග අවහිර වූ අවස්ථාවක පවා ප්‍රමාදයකින් තොරව සහන සේවා ජනතාව වෙත ලබාදීම සහතික කිරීම සඳහා සැපයුම් සහ ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරන ලදි.
මීට අමතරව, පූර්ව අනතුරු ඇඟවීමේ කටයුතු වෙනුවෙන් දත්ත විශ්ලේෂණ සහ කාළගුණික අනාවැකි යොදාගැනීමේ තාක්‍ෂණික භාවිතය පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරිණි. ආපදාවන් ඇති වූ පසු ඊට ප්‍රතිචාර දැක්වීමට වඩා, පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීම සඳහා කාලගුණ විද්‍යා අනාවැකි සහ විධානයන් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට වඩාත් ඵලදායී ලෙස යොදාගනු ලබන ආකාරය පිළිබඳව ද කරුණු සාකච්ඡා කළහ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හැකියාවන් ත්‍රිවිධ හමුදාවේ ආපදා සහන සේවා මෙහෙයුම් ශක්තිය සමඟ ඒකාබද්ධ කිරීමෙන් වඩාත් සාර්ථකව පුරෝකථනය කළ හැකි ආපදා කළමනාකරණ ආකෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු විය.
මෙම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර එකඟතාවයකට එළඹෙමින් සාකච්ඡාව සාර්ථකව නිමාවට පත් විය. මෙම අවස්ථාවට විෂයානුබද්ධ විවිධ ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනා වඩාත් ශක්තිමත් ජාතික ආපදා කළමනාකරණ ජාලයක් ස්ථාපිත කිරීම සඳහා සිය දායකත්වය තහවුරු කළහ.