‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු විධිමත් ජාතික ප්‍රතිසංස්කරණ යාන්ත්‍රණයක් උදෙසා පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ ක්‍රියාවලිය සඳහා පදනම සකස් කරයි
පෙබරවාරි 27, 2026ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ප්‍රධාන දේශීය හා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමඟ එක්ව පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ ක්‍රියාවලිය මෙහෙයවනු ලබයි. මෙම ක්‍රියාවලිය මඟින් නිශ්චිත කාලරාමුවකට අනුකූලව, බලපෑමට ලක් වූ සියලුම ක්ෂේත්‍රවල සිදුවූ භෞතික හානි, ආර්ථික හානි සහ සමාජීය බලපෑම් පිළිබඳ දත්ත ක්‍රමානුකූලව රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඇගයීම සිදු කරනු ලැබේ.
පරිපූර්ණ ජාතික ප්‍රතිසංස්කරණ රාමුවක් සකස් කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ තක්සේරු කිරීම් අනුමත කිරීම අරමුණු කරගනිමින්, පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ කමිටුව අද (පෙබරවාරි 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තහවුරු කිරීමේ සැසියක් පවත්වනු ලැබීය. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් වඩාත් අවදානමට ලක්විය හැකි ජනතාව වෙත ළඟාවන බව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳ ලබාගන්නා දත්තවල නිරවද්‍යතාවය අතිශයින් වැදගත් වන බවයි.
ඒ අනුව මෙලෙස තහවුරු කරන ලද වාර්තාව ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය කරා යන ක්‍රියාවලියේදී නිල සැලැස්ම වශයෙන් ක්‍රියා කරනු ඇත. ආපදාව හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන, සෞඛ්‍ය, ජල හා සනීපාරක්‍ෂක පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කිරීම ද මේ අනුව සිදු කෙරේ.
ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන ජාතික අයවැයට මඟ පෙන්වනු ලබන අවසන් පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීමේ වාර්තාව 2026 මාර්තු මස අගභාගයේදී නිල වශයෙන් භාර දීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ තාක්‍ෂණික විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ.