හම්බන්තොට පැවති මහජන දින වැඩසටහනේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්‍රාමික රණවිරුවන්ගේ ගැටළු පිළිබඳව අවධානය යොමු කරයි

මාර්තු 03, 2026

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 02 වන දින හම්බන්තොටදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.

විශ්‍රාමික හමුදා සාමාජිකයන් හා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටළු අතුරින්, විශේෂයෙන් නිවාස, සුභසාධන ප්‍රතිලාභ සහ ඔවුන්ගේ යහපැවැත්මට බලපාන අනෙකුත් සේවා ආශ්‍රිත ගැටළු පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු විය. විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් තම ගැටළු පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමට සහ ඒවාට අවශ්‍ය සහාය ලබාගැනීමේ අරමුණින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. වැඩසටහන අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණ සිටි පිරිසගේ ගැටළු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා පෞද්ගලිකවම මැදිහත්වෙමින් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කරමින් එක් එක් සිද්ධිය පිලිබඳ කරුණු සමාලෝචනය කළේය. ඒ අනුව එම ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාත්මක අදාළ ආයතන සමඟ සෘජුවම සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, සුදුසු පරිදි විසඳුම් ලබාදීම කඩිනම් කරන ලෙසත් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

අපගේ සන්නද්ධ හමුදා සාමාජිකයන් සියලු දෙනා රට ජාතිය වෙනුවෙන් ඉටුකළ උත්තරීතර සේවය අවධාරණය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ආරක්‍ෂක අමාත්‍යාංශය විශ්‍රාමික රණවිරුවන්ගේ එම උතුම් කැපකිරීම් ඉතා උසස් කොට අගය කරන බවයි. රණවිරු ප්‍රජාවගේ සුභසාධනය, ගෞරවය සහ ආරක්‍ෂාව තහවුරු කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.