ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ ආපදාවට පත් ඉරාන නෞකාවක සිටි පිරිස බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරයි

මාර්තු 04, 2026

ගාල්ලට දකුණු දෙසින් වූ මුහුදේ ආපදාවට පත් නෞකාවක් පිළිබඳව කොළඹ සමුද්‍රීය සෙවීමේ හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත පසුගිය මාර්තු 04 වන බදාදා අලුයම 5:08 ට පමණ ලැබුණු පණිවිඩයකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා සම්බන්ධීකරණය වෙමින් විපතට පත්වූවන් සෙවීමේ හා මුදවා ගැනීමේ (SAR) මෙහෙයුමක් ක්‍ෂණිකව ආරම්භ කරන ලදී.

ආපදාවට පත් නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත කලාපයේ ස්ථානගතව තිබුණද, එය ශ්‍රී ලංකාවට අයත් සෙවීමේ හා මුදවා ගැනීමේ සමුද්‍ර කලාපය (SRR) තුළ පිහිටා තිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් සමුද්‍රීය මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකාව සතු වේ.

ඒ අනුව, කොළඹ සමුද්‍රීය සෙවීමේ හා මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අදාළ පරිදි මුදවා ගැනීමේ පටිපාටි කඩිනමින් ක්‍රියාත්මක කළ අතර, නාවික හමුදා යාත්‍රා සහ ගුවන් හමුදා සමුද්‍රීය නිරීක්‍ෂණ යානා අදාළ ස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ලැබීය. ඒ අනුව, අවශ්‍ය මුදවා ගැනීමේ කණ්ඩායම් සහ උපකරණ සහිතව නාවික හමුදා ඒකක උදෑසන 6:00 ට පමණ එම ප්‍රදේශය බලා පිටත්ව ගිය අතර, මෙම මෙහෙයුම ඔස්සේ තුවාල ලැබූ ඉරාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයින් තිස්දෙදෙනෙකු (32) බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.

බේරාගත් පිරිස ගොඩබිමට රැගෙන ඒමෙන් පසු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලද අතර, තවදුරටත් විපතට පත් නාවිකයන් සිටී නම් ඔවුන් මුදාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක බලකාය සහ ගුවන් හමුදාව සමඟ එක්ව අවට මුහුදු කලාපයේ පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළේය. මේ දක්වා සිදුකල මෙහෙයුම් ඔස්සේ නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් යැයි සැලකෙන මළ සිරුරු 84ක් සොයාගෙන ඇති අතර, ඉදිරි කටයුතු සඳහා එම මළ සිරුරු රෝහල් බලධාරීන් වෙත භාර දී ඇත.

සාගරයෙන් වට වී ඇති දූපත් රාජ්‍යයක් වශයෙන්, ජාත්‍යන්තර සමුද්‍රීය සෙවීමේ හා මුදවා ගැනීමේ සම්මුතිය (SAR) සහ එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) යටතේ පවතින ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව, තම සෙවීමේ හා මුදවා ගැනීමේ කලාපය තුළ සිදුවන ඕනෑම හදිසි ආපදා තත්වයකදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව කැපවී සිටී. තවද, එම ප්‍රදේශය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.