රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරු පවුල්වල දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

මාර්තු 06, 2026

රණවිරු සේවා අධිකාරියේ රණවිරු දරුවන්ගේ අධ්‍යාපනය බලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ, මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් අද (මාර්තු 06) දින පවත්වන ලදී.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. උත්සවය අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයා විසින් දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙකු වෙත සංකේතාත්මකව ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කරන ලදී. මෙම ශිෂ්‍යත්වලාභීන් අතර උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ දරුවන්ද සහ යුද හමුදා, නාවික හමුදා සහ පොලිස් සාමාජිකයන්ගේ පවුල්වල දරුවන් ශිෂ්‍යත්වලාභීන් අතරට ඇතුළත් විය. මෙම සිසුන් මේ වන විට වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්‍ෂණ, නීති සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර 32ක් ඔස්සේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතර, ඔවුන්ගේ උපාධි අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කිරීම සඳහා වසර හතරක කාලයක් පුරා මෙම මූල්‍ය ආධාරය ලබා දෙනු ඇත.

මෙහිදී රැස්ව සිටි සභාව ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, රණවිරු දූ දරුවන් ලබා ඇති අධ්‍යාපනික ජයග්‍රහණ ඇගයීමට ලක් කළේය. අපගේ රණවිරුවන් ඉටුකළ අමිල සේවය සහ දැක්වූ කැපකිරීම් ඇගයීමට ලක් කරමින්, ඉදිරියේදීත් රජය මෙවැනි සුබසාධන හා අධ්‍යාපනික වැඩසටහන් හරහා රණවිරුවන් හට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.දේශය සුරැකීම වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාග සිදු කළ රණවිරුවන්ගේ පවුල්වල අධ්‍යාපනික දියුණුව සහ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, මේ වසරේ (2026) ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාසික ශිෂ්‍යත්ව දීමනා අගයන් ද ඉහළ නංවා ඇත.

ශිෂ්‍යත්වලාභීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට දිරිගැන්වීම් සහ සහයෝගය ලබා දීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.ඩී. කොහොන (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.