COVID-19 එන්නත් පළමු තොගය ජනාධිපතිතුමා විසින් භාර ගනී

ජනවාරී 28, 2021

ඉන්දියානු රජය විසින් ආධාරයක් ලෙස ලබාදුන් ‘ඇස්ට්‍රාෂෙනෙකා කොවිඩ්ෂීල්ඩ්’ (AstraZeneca Covidshield) එන්නතේ පළමු තොගය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අද (ජනවාරි 28) උදෑසන ලබා ගන්නා ලදි.

ඉන්දීය මහ කොමසාරිස් ගරු ආචාර්ය ගෝපාල් බග්ලේ මහතා විසින් මෙම එන්නත් තොගය ජනාධිපති රාජපක්‍ෂ මහතාට නිල වශයෙන් භාර දුන්නේය.

පසුගියදා අතිගරු ජනාධිපතිතුමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙතින් පෞද්ගලිකව කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය විසින් මෙලෙස එන්නත් තොගය ලබාදුන් අතර, එය එයාර් ඉන්ඩියා A1-281 ගුවන් යානය මගින් ශ්‍රී ලංකාව වෙත එවන ලදි.

මෙම ත්‍යාගය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සම්බන්ධතාවය සහ සහයෝගීතාවය පිළිබිඹු වේ.

ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඉදිරිපෙළ ක්‍රියාකරන සෞඛ්‍ය සේවකයින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයින් වෙත එන්නත පළමුව ලබාදීමට සැලසුම් කර ඇත.

අමාත්‍යවරුන්, ප්‍රධාන ජනාධිපති උපදේශක, විදේශ අමාත්‍යාංශ ලේකම්, කොළඹ ගුවන් තොටුපල සභාපති, COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් එම අවස්ථාවට  සහභාගි විය.

මෙම උත්සවය සංකේතවත් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විශේෂ සිහිවටනයක් ද අතිගරු ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදි.