නාරංගල කඳු තරණයට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර යුධ හමුදාවෙන් සොයා ගැනේ

පෙබරවාරි 28, 2021

බදුල්ල නාරංගල කඳු නැගීමට ගොස් අතුරුදහන් වූ අකලංක පෙරේරා (24) ගේ දේහය යුධ හමුදාව විසින් ඊයේ (පෙබරවාරි 27) දින සොයා ගන්නා ලදි.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අනතුරු ඇඟවීම් නොතකා අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවය කරන පිරිසක් නාරංගල කන්දේ රාත්‍රී කඳවුරක් සඳහා පෙබරවාරි මස 26 වන දින ගොස් තිබේ.

කණ්ඩායමේ එක් අයෙකු අතුරුදහන් වී ඇති බව දැනුම්දීමෙන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ  හමුදාපතිගේ උපදෙස් පරිදි යුධ හමුදා භට පිරිස් සිදුකල සෝදිසි මෙහෙයුමකින් පසුව අඩි 700 ක් පමණ ගැඹුරු ප්‍රපාතයක තිබී අතුරුදහන් වූ පුද්ගලයාගේ මළසිරුර සොයා ගන්නා ලදි.

ජීවිතක්‍ෂයට පත් තරුණයාගේ මළ සිරුර ඉදිරි පරික්‍ෂණ සඳහා පොලිස් සහ රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාර දුන් බව යුධ හමුදාව පැවසීය.