අතරමං වූ ධීවරයින් දෙදෙනකු නාවික හමුදාවෙන් බේරා ගනී

පෙබරවාරි 28, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම සිට ධීවර කටයුතු සඳහා පෙබරවාරි 23 වනදා පිටත්ව ගොස් අතරමං වූ ධීවරයින් දෙදෙනෙකු ඊයේ (පෙබරවාරි 27) බේරා ගන්නා ලදි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ සහාය ඇතිව මුදවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන පරිදි, ධීවර යාත්‍රාවේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඔවුන් මෙලෙස අතරමං වී ඇත .

සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් ‍මෙම අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය වෙතද දැනුවත් කිරීමට කටයුතු කිරීමෙන් පසු එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් අන්තර්ජාතික මුහුදු සීමාවට රැගෙන ඒමට ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් විසින් කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සුරනිමිල නෞකාව විසින් එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා ගොඩබිම වෙත ආරක්‍ෂිතව ගෙන එන ලදි.

සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් ගතවූ කාලසීමාව තුලදී විවිධ ආපදාවන්ට ලක් වූ ධීවරයින් 25 ක් එම ආපදාවන්ගෙන් මුදවා ගැනීමට සම්බන්ධීකරණය වී කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි.