ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ සංචාරයක

මාර්තු 04, 2021

ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (මාර්තු 3) දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණියේය.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන  සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනය වන අතර එහි අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක විසින් ආරක්ෂක ලේකම්වරයා සාදරයෙන් පිළිගන්නා ලදී.

මෙහිදී ජෙනරාල් ගුණරත්න වෙරළාරක්‍ෂක නිලධාරීන් සමඟ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කරන ලදී.

අලුතින් ඉදිකරන ලද අංගසම්පූර්ණ ව්‍යායාම් මද්‍යස්ථානය ආරක්ෂක ලේකම් විසින් විවෘත කරන ලදී.

වෙරළබඩ ප්‍රදේශ, සමුද්‍ර කලාප, දිවයිනට අයත් නොගැඹුරු හා ගැඹුරු මුහුදේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිමය බලතල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති අතර නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඇතුළුවීම සහ පිටවීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහාද සහාය ලබා දේ.

මුහුදේදී විපතට පත්වන යාත්‍රාවලට සහාය වීම, සමුද්‍රීය පරිසර ආරක්ෂාව, ජීවිත ආරක්ෂක කටයුතු සහ සමුද්‍රීය ව්‍යසන වැළැක්වීම සහ ඒවාට එරෙහිව ක්‍රියා කිරීම ද වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය 11 වන සංවත්සරය අද (මාර්තු 4) දින සමරයි.

මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක ලේකම් සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතර  සමරු සිහිවටන හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.