කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වේ

මාර්තු 08, 2021

නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් අද (මාර්තු 8) දින නාවික හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වීම සිදුකරන ලදි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සමඟ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ගුණරත්න මැතිණිය සාදරයෙන් පිළිගන්නා ලදි.

මාර්තු මස 8 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම උත්සවය ආරම්භයේදී සිදුකරනු ලැබිය.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ පිළිගැනීමේ කතාවෙන් පසු මනෝ චිකිත්සක හා මනෝ උපදේශක අමා දිසානායක මහත්මිය විසින් ප්‍රධාන දේශනය පැවැත්විය.

ජාත්‍යන්තර කාන්තා දිනය සංකේතවත් කිරීම සඳහා උළුගේතැන්න මැතිණියගේ මඟපෙන්වීම මත සංවිධානය කරන ලද වැඩසටහන් පෙළක් මෙහිදී පැවැත්විණි.

ප්‍රවීණ සූපවේදී දේශබන්දු පබිලිස් සිල්වා මහතාගේ සූපශාස්ත්‍ර වැඩමුළුව, රූපලාවන්‍ය සහ මැහුම් වැඩසටහන්ද එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ මෙහෙයවීමෙන් මෙහිදී පවත්වන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා සහ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණි සුනීතා කොතලාවල මහත්මිය විසින් දේශන සිදුකරන ලදී.

සමස්තයක් වශයෙන් මානව වර්ගයාගේ වැදගත් අංගයක් ලෙස පවුල, සමාජය, රට සහ ලෝකය තුළ කාන්තාවන් විසින් ඉටු කරන ලද සුවිශේෂී කාර්යභාරය ඇගයීම වෙනුවෙන් ජාත්‍යන්තර කාන්තා දිනය නම් කර ඇති අතර, නාවික පවුලට ශක්තියක් හා දිරිගැන්වීමක් ලබාදීම සඳහා නාවික භාර්යාවන් ඇතුළු ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින කාන්තාවන්ගේ නිහඩ සේවය මෙහිදී ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි උළුගේතැන්න මහත්මිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ගුණරත්න මහත්මිය වෙත සමරු ත්‍යාගයක් පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.

ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, කාන්තා නිලධාරිනියන්, කාන්තා සෙබලියන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිණි ස්වර්ණා ජයන්ති මහත්මිය ඇතුළු සම්භාවනිය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී විය.