නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කල පිරිසක් නාවික හමුදා භාරයට

මාර්තු 12, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (මාර්තු 11) දින කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට සූදානම් වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයට අයත් නාවික සෙබළුන් විසින් කුරක්කන්හේන ප්‍රදේශයේ කල්පිටිය කළපුව ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීමේදී මෙම සැකකරුවන් සහ ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා බෝට්ටුවක් එනතුරු රැදී සිටියදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් අයවළුන් මඩකලපුව, යාපනය, මුලතිවු, ත්‍රිකුණාමලය සහ පුත්තලම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක්, කුඩා පිරිමි ළමයෙක් සහ කාන්තාවක් ද ඔවුන් අතර වේ.

සැකකරුවන් සහ ලොරි රථය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇත.