සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මහජනතාවට අවස්ථාව

මාර්තු 16, 2021
  • නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන මැදින් පුරපසලොස්වක පොහොය යෙදෙන මාර්තු 28 දින.
  • බැතිමතුන්ට චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ වන්දනාමානයට අවස්ථාව
  • හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මහජනතාවට දින 7ක කාලයක්
  • 2021 නොවැම්බර් මාසය වනවිට ස්ථූපය වැඳුම් පිදුම් කිරීම උදෙසා බැතිමතුන්ට අවස්ථාව

සඳහිරු සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය එළඹෙන මැදින් පුරපසලොස්වක පොහොය යෙදෙන මාර්තු 28 දින සිදුකෙරෙන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසා සිටී.

ස්ථූපයේ ධාතු ගර්භය ඉදිකිරීම අවසන් කර ඇති අතර නිධන් වස්තු තැන්පත් කිරීමෙන් පසු හතරැස් කොටුවේ ඉදිකිරීම් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරිමේ උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද (මාර්තු 16) දින ආරක්ෂක අමාත්‍යංශයේ පැවති අතර එහිදි මෙම කරුණු අනාවරණය විය.

සෑයේ හතරැස් කොටුව තුළ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මහජනතාවට මෙම මස 20 සිට 27 දක්වා අවස්ථාව හිමිවන බව ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේය.

එහිදි තවදුරටත් ඔහු පැවසුවේ විශේෂයෙන් තමන්ගේ මියගිය රණවිරු ඥාතීන්ට පිං පිණිස නිධන් වස්තු පුජාකිරිමේ භාග්‍ය එම පවුල් වෙත මෙමගින් උදාකර ගත හැකි වනු ඇති බවයි. 

චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ රට පුරා බැතිමතුන්ට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැරකින් වැඩමවීමට කටයුතු සැලසුම් කර ඇති බවද හෙළිවිය.

රුවන්වැලිසෑයට පමණක් දෙවැනි වන මෙම දැවැන්ත ස්ථූපය වැඳුම් පිදුම් කිරීම උදෙසා බැතිමතුන් වෙත 2021 නොවැම්බර් මාසය වන විට භාර කරන බවද ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

කොවිඩ් වසංගත තත්වයට පෙර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් විසින් ලබාදුන් අමිල ශ්‍රම දායකත්වයද මෙහි දී ඔහුගේ පැසසුමට ලක්විය.

“අඩි 39 ක් උසකින් යුත් හතරැස් කොටුවේ වැඩකටයුතු පැය 24 පුරාම සිදුවෙනවා”, යැයි පවසමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ දේවතා කොටුවේ උස අඩි 23 ඉක්ම වන බවත් කොත් කැරැල්ලෙහි උස අඩි 73 ක් පමණ වන බවත්ය.

මෙහි කොත් වහන්සේගේ උස අඩි 3 ක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ආරක්‍ෂක අංශ, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක සාමාජිකයින් විසින් සිදුකරන ලද ජීවිත පරිත්‍යාගයන් සහ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ශ්‍රි ලංකාවේ 5 වන විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවත් සෑය සඳහා පූර්ණ දායකත්වය ත්‍රිවිධ හමුදාව, බැතිමතුන් හා දානපතීන් විසින් ලබාදෙන බව ඔහු පැවසීය.

ඒ අනුව සෑයේ පේසා වළලු සහ කොත් කැරැල්ල ඉදිකිරීම, කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය තැන්පත් කිරීම මෙන්ම කැටයම් කටයුතු නිම කිරීමටද නියමිතව ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර හා මාධ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් චන්දිම කුමාරසිංහ, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී විය.