සඳහිරු සෑයට නිධන් වස්තු පූජා කිරිමේ මහඟු අවස්ථාව තවත් දින 6ක් පුරා

මාර්තු 22, 2021

අනුරාධපුර සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් පසුගිය තෙදින තුළ ලැබී ඇති අතර එළඹෙන මාර්තු 27 වන දින තෙක් තවත් දින 6ක් පුරා රට පුරා බැතිමතුන්ට නිධන් වස්තු පූජා කිරීමට අවස්ථාව සලසා දී ඇත.

සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවය මාර්තු 28 වන පැවැත්වීමට නියමිත අතර මේ සඳහා නිධන් වස්තු භාර ගැනීම පසුගිය 20 වන දින ආරම්භ විය.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිධන් වස්තු භාරගැනීම සඳහා පත්කළ විශේෂ කමිටුව විසින් සඳහිරු සෑය පරිශ්‍රයේ දී මහජනතාවගෙන් ලැබෙන නිධන් වස්තු භාරගැනීම මේ වන විටත් සිදුවෙමින් පවතී.

දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක සාමාජිකයින් විසින් සිදුකරන ලද ජීවිත පරිත්‍යාගයන් සහ රණවිරුවන්ගේ උදාර සේවය අගය කරනු වස් ශ්‍රි ලංකාවේ 5 වන විධායක ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවත් මේ සඳහා පූර්ණ දායකත්වය ත්‍රිවිධ හමුදාව, බැතිමතුන් හා දානපතීන් විසින් ලබාදෙන බවත් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පසුගියදා සඳහන් කළේය.

තමන්ගේ මියගිය රණවිරු ඥාතීන්ට පිං පිණිස නිධන් වස්තු පුජාකිරිමේ භාග්‍ය එම පවුල් වෙත මෙමගින් උදාකර කර ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා රණවිරු පවුල්වලින් විශේෂයෙන් ඉල්ලා සිටී.