නාවික හමුදාව තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදේ

අප්‍රේල් 22, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 350ක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම ඊයේ (අප්‍රේල් 21) දින නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

තැලසීමියා රෝගය ශ්‍රී ලංකාවේ බහුලතම ජානමය රෝගය බවට සැළකෙන අතර, තැලසීමියා රෝගය හේතුවෙන් රෝගියාගේ රුධිරයේ අඩංගු යකඩ ශරීරය තුළ එක්රැස්වීම සිදුවේ. මෙලෙස රුධිරයේ එක්රැස්වන යකඩ ඉවත් කිරීම සඳහා තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රෝගීන් හට අත්‍යවශ්‍යම උපකරණයක් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් රෝගීන් හට අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් 2011 වසරේදී නිෂ්පාදනය කරන ලද අතර, සියළුම නිලධාරීන් සහ නාවිකයින් සිය මාසික වේතනයෙන් ස්ව කැමැත්තෙන් මෙම උතුම් සත්කාරය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙනු ලබයි.

නාවික හමුදාව පවසන පරිදි, වෙළදපොලේ රුපියල් 75,000.00 - 100,000.00 ක් වැනි ඉහල මිලකට අලෙවි වන තැලසීමියා නික්ෂේපන යන්ත්‍ර නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් රු 4,250.00 ක පමණ අඩු පිරිවැයකින් නිපදවා රෝගීන් සඳහා නොමි‍ළයේ ලබා දීම සිදුකරයි.

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිපදවනු ලබන තැලසීමීයා නික්ෂේපණ යන්ත්‍ර සඳහා 2011 වසරේදී ශ්‍රී ලංකා විලේපන, උපකරණ හා ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රමිති සහතිකය (DVR-PR-019014) හිමිවිය.

2011 වසරේ සිට නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2374 ක ප්‍රමාණයක් දිවයිනේ ජාතික රෝහල් වෙත සහ තෝරාගත් තැලසීමියා රෝගී දරුවන් අතර අදියර කිහිපයක් යටතේ බෙදා හැරීමට කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (බෝ නොවන රෝග) වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති හා සැළසුම් කොමදෝරු ප්‍රදීප් රත්නායක ඇතුළු නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.