මත්ද්‍රව්‍ය ජාවාරම් වළල්ල අක්‍රීයයි - ආරක්ෂක ලේකම්

අප්‍රේල් 22, 2021
  • රටේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කිරීම හේතුවෙන් රටට හානිකර සිදුවීම් සඳහා ඉඩක් නොමැත

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වැනි ඛේදජනක සිදුවීම් නැවත රට තුල ඇතිවීම වැළැක්වීම සඳහා සියලු බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (අප්‍රේල් 21) දින ප්‍රකාශ කරන ලදී.

බුද්ධි අංශ හොඳින් පුහුණු කර ඇති අතර ඔවුන් එම වෘත්තිය සඳහා සුදුසුකම් ලබා ඇතත් ඔවුන්ගේ රාජකාරිය කිරීමට සුදුසු පරිසරයක් නොතිබීම නිසා එම කටයුතු අඩපණ විය හැකිය, යනුවෙන් පැවසු අතර, “අපගේ බුද්ධි අංශ හොඳින් ක්‍රියාත්මක වන නිසා අතීතයේ සිදුවූ වැරැද්ද නැවත සිදු නොවනු ඇත.” යනුවෙන් ආරක්ෂක ලේකම් ප්‍රතිඥා දෙන ලදී.

කොරෝනා වෛරසයෙන් රට මුදාගැනීම පිණිස ආශීර්වාද පතා අත්තනගල්ල රජමහා විහාරයේ දී පැවති සර්ව රාත්‍රීක පිරිත් සජ්ජායනා කිරීමේ උත්සවයකදී ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.

අනාගතයේ දී එවැනි සිදුවීමක් නැවත සිදුවීමේ අවදානම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, එවැනි උත්සාහයන් වලක්වා ගැනීම සඳහා පියවර ගෙන ඇති බවත්, සමාජය තුළ අහිතකර ඉගැන්වීම් වැළැක්වීමට පියවර ගෙන ඇති බවත්ය.

මේ අතර, විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් වලක්වාලීමට ගත් ක්‍රියාමාර්ගයන් පිළිබඳව පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ, “ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිලිබදව විමසිල්ලෙන් සිටින බවත්, ඔවුන් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ගැනීමටත් පියවර ගෙන තිබේ” යනුවෙනි.

මේ ගැන තවදුරටත් පැහැදිලි කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ නීති විරෝධී ක්‍රියාවන් දිගටම කරගෙන යාම සඳහා ඔවුන්ගේ දෙවන පෙළ කණ්ඩායම් සිදුකරන උත්සාහයන්ද අසල්වැසි රටවල සහාය ඇතිව සීමා කර ඇති බවයි.

එබැවින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ මෙන්ම අසල්වැසි රාජ්‍යයන්ගේ සහාය ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට මෙවැනි ජාවාරම්කරුවන්හට විශාල බලපෑමක් එල්ල කර ඇතැයිද හෙතෙම පැවසීය.

මෙය දීර්ඝ කාලින ක්‍රියාවලියක් බැවින් කෙටිකාලීනව ප්‍රතිඵල බලාපොරොත්තුවිය නොහැකි අතර නුදුරු අනාගතයේ දී එහි සාර්ථකත්වය අපට දැකගත හැකි වනු ඇතැයි ආරක්ෂක ලේකම් පැවසීය.