ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට පහසුකම් සැලසීම සඳහා කැබිනට් අනුමැතිය

අප්‍රේල් 29, 2021

•    මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් 30,000 කට වැඩි පිරිසකට සහන
•    සම්පූර්ණයෙන් රට වසා දැමීම සඳහා තීරණය කර නොමැත
•    ත්‍රිවිධ හමුදාවෙන් රෝහල් සඳහා අමතර ඇඳන් 2500 ක්

ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට ජීවිත කාලය පුරාවට වැටුප් හා දීමනා ලබාදීම  සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද පැවසිය.

ත්‍රස්තක්‍රියා හේතුවෙන් මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් හට සහන සැලසීමට නිසි ක්‍රමවේදයක් සකස්කිරීම සඳහා 2020 සැප්තැම්බර් මස 10 වන දින ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී ඇති බව ආරක්ෂක ලේකම් ප්‍රකාශ කරන ලදී.

මෙම කැබිනට් අනුමැතිය ප්‍රකාශයට පත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ජෙනරල් ගුණරත්න මේ බව ප්‍රකාශ කළ අතර, මෙම පියවරත් සමඟ රටපුරා සිටින රණවිරුවන්ගෙන් යැපෙන පවුල් 30,000 කට අධික සංඛ්‍යාවක් සඳහා ප්‍රතිලාභ හිමිවන බවද සඳහන් කළේය.

වරප්‍රසාද ඉල්ලා පසුගිය දිනවල සිදුකල පදනම් විරහිත විරෝධතා පිලිබඳ සිහිපත් කරමින් ආරක්ෂක ලේකම්, පොරොන්දු වූ පරිදි වරප්‍රසාද ගණනාවක් දැන් හිමිගන්වා ඇතිබව අවධාරණය කළේය.

ඒ අනුව, ත්‍රස්තක්‍රියා හේතුවෙන්‌ මියගිය විවාහක ත්‍රිවිධ හමුදා/පොලිස්‌ සාමාජිකයින්ගේ වැන්දඹුවන්‌ වෙත, මියගිය සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට හිමිගන්වන ලද වැටුප්‌ හා දීමනා වල එකතුව නොවෙනස්ව වැන්දඹුවන්‌ ජීවත්ව සිටින තෙක්‌ ගෙවනු ලැබේ.

තවද, ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් හේතුවෙන් මියගිය විවාහක / අවිවාහක ත්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයින්ගේ දෙමාපියන් වෙත සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට දෙමාපියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000.00 ක මාසික දීමනාවක් හිමිගන්වනු ලැබේ.

මේ අතර, දිවයිනේ කොරෝනා වසංගතය පැතිරීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජෙනරල් ගුණරත්න කියාසිටියේ, ආසාධිතයින් හඳුනා ගන්නා ප්‍රදේශ පමණක් හුදකලා කිරීම සිදුකරන අතර සමස්ථ රටම වසාදැමීම සඳහා තීරණයක් නොමැති බවයි.

අවශ්‍ය වුවහොත් රෝහල් සඳහා අමතර ඇඳන් 2500 ක් ලබා දීමට ත්‍රිවිධ හමුදාවෙන් කටයුතු සූදානම් කරන බවද ඔහු සඳහන් කරන ලදී.

වැඩිදුර කියවන්න