රුපියල් මිලියන 55 කට අධික වටිනාකමින් යුත් ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

මැයි 04, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 183 කට අධික තවත් කේරළ ගංජා තොගයක් ඊයේ (මැයි 03) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙරට තුළට ගෙන ඒමට උත්සාහ කර පසුව යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ ගොඩබිම සිට නාවික සැතපුම් 08 ක පමණ දුරකදී මුහුදේ අතහැර දමා ගොස් තිබූ මලු 04ක පාර්සල් 58ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 183.9 ක පමණ තොගයක් සොයා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 55කට අධික වන බවට විශ්වාස කෙරේ.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය අද දිනම ගිනි තබා විනාශ කළ බව නාවික හමුදාව තහවුරු කරයි.